වෙරළ ඛාදනයෙන් කල්පිටියේ කස කැළයක් අවදානමේ



(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටිය සංචාරක කලාපයට අයත්, ඉලන්තඩිය මුහුදු වෙරළ තීරයේ පිහිටි කස කැළෑවක් වෙරළ ඛාදනය හේතුවෙන් අවදානම් තත්වයක් උද්ගතවී ඇති බව කල්පිටිය සංචාරක සංවර්ධන සංගමයේ සභාපති කීර්ති නික්සන් මහතා පවසයි.
 
මෙම කැළය දිගින්  කිලෝ මීටර දෙකකට ආසන්න පළලින් මීටර 70 කට ආසන්නය.

මේ වන විට එම  මුහුදු තීරයේ වෙරළ සංරක්ෂණ කලාපයේ මීටර 50 ක් ද ඉන් ඔබ්බට පිහිටි කස කැළයෙන්ද මීටර 20 ක් පමණ ද මුහුදු බත්ව ඇති අතර, නොනවත්වාම මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බව ය.

වෙරළ ඛාදනය සංචාරක නිකේතන දහයකට පමණ කෙලින්ම බලපාන බවත් ඔහු කීය.
 
"මෙම මුහුදු ඛාදනය ඉතාම ප්‍රබලයි. ඉක්මණින් විසඳුමක් ලබා නුදුන්නොත්, සංචාරක කර්මාන්තයට මෙය මරු පහරක්"
 
" කස කැලෙන් පස්සේ තිබෙන්නේ ඉලන්තඩිය ගමේ සුසාන භූමිය සහ ගම්මානය. මීට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඊළඟ තර්ජනයන් එල්ල වන්නේ, මෙම ගම්මානයට සහ සුසාන භූමියටයි" යැයිද කීය.
 
වෙරළ ඛාදනය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවටත් දැනුම් දී ඇතැ යි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.
 
වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ කල්පිටිය භාර නිලධාරී ඒ.ආර්.එම්. හලීම් මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ, මේ පිළිබඳව සිය දෙපාර්තුමේන්තුව ඉදිරියේ ක්‍රියාත්මක වනු ඇති බව ය.