වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා


(ජේ.කේ.එල්. චාමින්ද)

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත්  රෝහල් සහ  ආයතන සදහා  රුපියල් මිලියන 31.08ක  මුදලක් වැයකොට  ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක්  භාවිතයට නොගෙන  නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම  විගණන වාර්තාවක සදහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති ලිපියට අනුව  සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම  සනාථ කළ හැකි පරිදි  ඇගිලි සලකුණු යන්ත්‍ර  2017 වර්ෂයේ ජුලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක නොකරන්නේ නම්  වර්තමාන වැටුපට අනුව අතිකාල දිමනා නොගෙවිමට  වගබලාගතයුතු බවට දන්වා තිබුණි.

ඉකුත් වර්ෂයේ දි (2023)  සෞඛ්‍ය කාර්යමණ්ඩල  සදහා  අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන්  රුපියල් මිලියන තිස්අටදහස් දෙසියතිස්හයයයි. ශත අසුතුනක මුදලක් (38,236.83 ) ගෙවා තිබුණි.

අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැයකොට තිබු මුළු මුදල  වැටුප් පිරිවැයෙන්  සියයට 72ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ  රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ ප්‍රකාරව  ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළයුතු බවට උපදෙස් ලබාදෙමින්  අභ්‍යන්තර චක්‍ර ලේඛයක් හා  පොදු ලිපියක් නිකුත්කර ඇති නමුත්  වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක කිරිමට නොහැකිවි ඇති බවය.