වොෂින්ටන් අගනුවර විරෝධතාකරුවන්ගෙන් පිරෙයි


සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණත්ඩත්වයට ගොදුරු වී මියගිය ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා දෙවැනි සතියටත් පැමිණ තිබෙන අතර ඊයේ (6) වොෂින්ටන් අගනුවරට දහස් ගණනක් පැමිණියහ.

‘‘කළු ජාතිකයන්ගේ ජීවිත වටිනවා (බ්ලැක් ලයිව්ස් මැටර්)’’ සහ ‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’’ යනුවෙන් හඬ නගමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර ප්‍රධාන මාර්ගවලත් වීදිවලත් පාගමනේ යෙදුණාහ.

අගනුවර පිහිටි ධවල මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග බාධක යොදා තිබෙන නමුත් විරෝධතාකරුවෝ ඒවා ගණනකට නොගත්හ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව හෙවත් පාර්ලිමේන්තුව පිහිටි කැපිටල් ගොඩනැගිල්ල මෙන්ම ‘ලින්කන් අනුස්මරණ’ පිළිරුව දක්වා තිබෙන වීදි සියල්ල විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් තිබිණි.

විරෝධතාකරුවන්ගේ ගමන අවහිර කිරීම සඳහා මාර්ගවලට හමුදා රථ සහ නිලධාරීන් යෙදුවද ඉන් ප්‍රතිඵලයක් අත් නොවිණි. ඉන් සිදුවූයේ මාර්ග තදබදයක් නිර්මාණය වීම පමණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් නගරයේ සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්වීමෙන් නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට ලක්විය. සුදු ජාතික පොලිස් නිලධාරියකු වූ ඩෙරික් චෝවින් ජෝර්ජ් ෆ්ලෝයිඩ්ගේ බෙල්ල සිය දණ හිසෙන් විනාඩි නවයකට ආසන්න කාලයක් තද කරගෙන සිටි අතර හුස්ම ගැනීමට නොහැකි වීමෙන් ෆ්ලොයිඩ් මරණයට පත්විය. එම මරණයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම නගරකයම පාහේ විරෝධතා ආරම්භ වූ අතර ඇතැම් අවස්ථාවලදී ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. ‘‘අපේ බෙල්ලෙන් ඔබේ දණහිස ඉවත් කරගනු’’ යන්න එම විරෝධතාවල ප්‍රධාන සටන් පාඨයක් විය.

මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් වෙතින් ආරම්භ වූ විරෝධතා පසුගිය සතිය වනවිට ලොව වඩාත් ආරක්ෂිතම ස්ථානය යැයි සැලකෙන ධවල මන්දිරයේ දොරකඩ අභියසටම පැමිණියේ ය. මේ වනවිට ධවල මන්දිරයේ ආරක්ෂාව දැඩි කර තිබෙන අතර වොෂින්ටන් අගනුවර බොහෝ කඩසාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇත.
 
 
අල්ජසීරා
ඡායාරූප – රොයිටර්

055