ශල්‍ය වෛද්‍යවරිය වැරදි කකුල කපලා


වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ.

ඉවත් කිරීමට නියමිත වූයේ 82 හැවිරිදි රෝගියාගේ වම් පාදයයි. එහෙත්, වෛද්‍යවරියගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය කපා ඉවත් කර ඇත්තේ දකුණු පාදයයි.

තමන්ට වැරදීමක් සිදුවුණු බව වෛද්‍යවරිය දැනගෙන ඇත්තේ ද සැත්කම සිදු කර දින 3 කට පසුව යැයි ඔස්ට්‍රියා මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලින්ස් නුවර අධිකරණයක් හමුවේ නඩු විභාගය පැවැත්වුණු අතර නොසැකිලිමත් බව හේතුවෙන් 43 හැවිරිදි ශල්‍ය වෛද්‍යවරියට යූරෝ 2,700ක (ඇමෙරිකන් ඩොලර් 3,060) දඩයක් නියම කෙරුණි.

සැත්කමට ලක් වුණු රෝගියා සැත්කමින් දින කීපයක් ගත වෙද්දී මියගිය අතර, නඩු විභාගය ඉදිරියට ගෙන ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ මැදිහත් වීමෙනි.

සැත්කම සිදුවී ඇත්තේ පසුගිය මැයි මාසයේය. රෝගියාගේ වැන්දඹු බිරිඳට යුරෝ 5,000 ක මුදලක් ලබා දෙන්නැයි ද අධිකරණය නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)