ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ දුර්ලභ කළු කොටියා මන්දකට හසුවෙයි


(ඡායාරූප - ගාමිණී බණ්ඩාර)

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(රංජිත් රාජපක්ෂ  සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)      
              
ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ කළු කොටියෙකු(පැන්තරාස් පාදුස්) අද (26) මන්දකට හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසළ එළවළු වගා භූමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දකට කළු කොටියා හසුවී සිටියේය.
 
දිගින් අඩි 6 ක්  සහ උස අඩි 4 ක් පමණ වන, අවුරුදු  8 ක් පමණ වයසැති කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බව වනජීවි නිලධාරීහු කියාසිටියහ.
 
කොටියෙකු කෑ ගසන ශබ්දය ඇසී වතු කම්කරුවන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව, ඔවුහු එහි පැමිණ සොයාබැලූහ. වනජීවි නිර්වින්දන පශු වෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වී සිටින කළු කොටියා මුදා ගැනීමට හැකි වූ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
 
ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රී ලංකාවේ රක්ෂිතවල ජීවත් වන බවත් , ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙකු බවත්  කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.