ශ්‍රීලංකන් කේටරින් නව ප්‍රධාන විධායක මංගල විජේසේකර


ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රීලංකන් කේටරින් හි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මංගල විජේසේකර මහතා තේරී පත් වූ බව ශ්‍රීලංකන් කේටරින් සඳහන් කරයි.

මංගල විජේසේකර මහතා Aitken Spence හෝටල් සමූහයේ විදේශීය හෝටල් මෙහෙයුම් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වසර 23 කට වැඩි ආයතනික අත්දැකීම් ලබා ඇත. ඒ මහතා සතුව ව්‍යාපෘති කළමනාකරණය. හෝටල් කළමනාකරණය, මූල්‍ය, පරිපාලනය සහ දේපළ මෙහෙයුම් පිළිබඳ පුළුල් දැනුමක් ඇත. එසේම ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව සහ ඕමානය ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍ර කිහිපයකම වෘත්තිකයන් සමග වැඩකර අත්දැකීම් රාශියක් ඇති අයෙකු ද වේ.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාවේ Southen Queensland විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ Cornell විශ්වවිද්‍යාලයෙන් ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ මාස්ටර් සහතිකයත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් උපාධි පාසලෙන් සහ සිංගප්පූරුවේ NUS ව්‍යාපාරික පාසලෙන් ජාත්‍යන්තර කළමනාකරණය පිළිබඳ විධායක පුහුණුව ලබා ඇත.