(එස්.රුබතීසන්)
සහල් තොග රඳවා තබා ගනිමින් අනවශ්‍ය සහල් හිඟයක් නිර්මාණය කර ඇති මහා පරිමාණ මෝල් හිමියන්ට එරෙහි පියවරක් ලෙස රජය තමන්ගේම අමතර වී තොග පවත්වා ගෙන යාමට තීරණය කර ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අප පුවත්පතට පැවැසුවේය.
ඒ අනුව සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යෑමේ අරමුණින් එළඹෙන මහා කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට රජය සැලැසුම් කර ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
වර්තමානයේ සහල් මිල ඉහළ පහළ යෑමට හේතුව වී ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන් වෙළඳපොළට සපයන සහල් තොග සීමා කරමින් සහල් කෘතීම හිඟයක් ඇති කිරීම බවද ඔහු පැවැසුවේය.
පසුගිය රජයේ තීරණ හේතුවෙන් වී අලෙවි මණ්ඩලය සතුව වර්තමානයේ ප්‍රමාණවත් වී තොග නොපවතින බවත් විශේෂයෙන් නාඩු ප්රභේදයන්ගේ ප්‍රමාණවත් වී තොග අලෙවි මණ්ඩලය සතුව නොමැති බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මහා කන්නයේදී විශාල වී තොග ප්‍රමාණයක් මිලදී ගෙන මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ මට්ටම දක්වා රජය වී තොග වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.
වී අලෙවි මණ්ඩලයේ අම්පාර ගබඩාවේ කිරී සම්බා ප්‍රභේදයේ වී තොග සීමිත ප්‍රමාණයක් තිබෙන බවත් ඒ හේතුවෙන් සහල් ආනයනය ඉතා ඉක්මණින් නතර කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය කිරීමත් සමග කිරී සම්බා සහල් මිල ඉහළ ගිය බවත් කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.