සාම කතා දෙවැනි වාරය අද


රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙවැනි වටය අද (2) දින පැවැත්වීමට නියමිත බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කරයි.

පළමු වටයේ සාම සාකච්ඡා පසුගිය (28) පැය පහක් පුරාවට පැවති අතර එහිදී දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබී තිබුනේ නැත.

අද (2) දෙවැනි වටයේ සාම සාකච්ඡා බෙලරුස්-පෝලන්ත දේශසීමාව අසල පැවැත්වීමට නියමිත බව රුසියානු පුවත් සේවා පවසයි. 

බෙලරූසය රුසියන් හිතවාදී රාජ්‍යයක් වන අතර, පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර යුක්රේනයේ මිතුරෙකි.

දෙවැනි වටයේ සාකච්ඡා පැවැත්වීම ගැන අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට සුදානම් බවයි.

එසේම සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම් සාකච්ඡා පවත්වන අතරතුර මිසයිල එල්ල කිරීම නතර කළයුතු බව ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කළේය.

බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ පැවසුවේ රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙරට නායකයන් අතර හමුවක් දක්වා වර්ධනය විය හැකි බවය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් සිතීමට මෙය කාලය නොවන බවය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න