සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට


(කුෂාන් ජයවර්ධන)

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය  ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.

අද (13)  සවස 5.30ට පමණ සිදුව ඇති අකුණු සැර වැදීමකින් මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මැදවච්චිය දිවුල්වැව කුඹුරු යායේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි

සිද්දියෙන් මිය ගොස් ඇත්තේ මැදවච්චිය කුලික්කඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 47ක් වන අප්පුහාමි මුදියන්සේලාගේ ලක්මල් ජයකොඩි නමැති අයෙකි.   

කුඹුරේ සී සාමින් සිටියදී අකුණු සැරට ලක්වීමෙන් බරපතළ තත්වයේ සිටි එම පුද්ගලයා කඩිනමින් ප්‍රතිකාර සඳහා මැදවච්චිය රෝහලට ඇතුළත් කළද  බරපතළ තත්වයේ සිටි ඔහු රෝහල් ගතකරන අවස්ථාවේ මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

මැදවච්චිය පොලිසිය මේ වනවිට සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.