සීගිරිය නරඹන්න එන සංචාරකයන්ගේ ඉහළ යාමක්


(කාංචන කුමාර ආරියදාස)

පාස්කු ප්‍රහාරයෙන් පසු සීගිරිය නැරඹීම සඳහා  විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 70% කින් වර්ධනය වී ඇති බවත් මේ දිනවල වැඩි වශයෙන් බටහිර රටවල සංචාරකයන් එහි පැමිණෙන බවත්  මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

විදේශීය සංචාරකයන් 900කට අධික පිරිසක් දිනපතා පැමිණෙන බවත් දේශීය සංචාරකයන් දිනකට 400 කට පමණ වැඩි පිරිසක් පැමිණෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම සති අන්තයන්හිදී විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් නොමැති වුවද දේශීය සංචාරකයන්ගේ පැමිණීම 2500 දක්වා ඉහළ යෑම විශේෂත්වයක් බවත් දේශීය සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් ජනතාව බවත් හෙතෙම සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සමඟ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම කඩා වැටී තිබිණි.

සීගිරිය නගරයේ සංචාරකයන්ගෙන් ජීවනෝපාය සකසා ගත් අලි සෆාරි, කරත්ත සෆාරි, ඔරු  සෆාරි සහ ආහාරපාන නවාතැන් ලබා දුන් බොහෝදෙනෙක් දැඩි ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටියහ.

මේ දිනවල විදේශිකයන්ගේ පැමිණීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රය යම් මට්ටමකින් පවත්වාගෙන යෑමට හැකි වී තිබෙන බව ඔවුහු සඳහන් කළහ.