සුඛෝපභෝගි නිවෙසකින් මතු වූ මත්පැල තවාන


(යොහාන් භාසුර)

රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය පැළ තවානක් පවත්වාගෙන ගිය මුල්ලේරියාව ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවෙසක් තලංගම පොලිසියේ දූෂන මර්දන ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

මුල්ලේරියාව හිබුටාන පාරේ පිහිටි මෙම නිවෙසේ තුන්වන මහලේ අඩි දහයයි දහය ප්‍රමාණයේ කාමරයක් තුළ වායු සමීකරණ, විදුලිපංකා හා අධික ආලෝකය ස්වයංක්‍රීය වතුර දමන යන්ත්‍ර යොදවමින් මෙම පැළ තවාන පවත්වාගෙන ගොස් ඇති බවත් එහි වගාකර තිබූ පැළ 33 ක් සොයාගත් බවද පොලිසිය කියයි.

තලංගම දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මුදිත ප්‍රියංකර මහතාට ලැබුණු තොරතුරකට අනුව ගංජා හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් 35 හැවිරිදි පුද්ගලයකු හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මුල්ලේරියාවේ පිහිටි මෙම නිවස පිළිබඳ හෙළිවී තිබේ.

කොන්ත්‍රාත්තකරුවකුට අයත් මෙම සුඛෝපභෝගී තෙමහල් නිවෙස පරීක්ෂා කිරීමේදී මෙම පැළ තවාන පවත්වාගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මුල්ලේරියාව පොලිසිය වෙත බාරදී ඇති අතර ඔවුන්  අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.