සේරම බළලුන්ටයි බල්ලන්ටයි


චීනයේ වයෝවෘද්ධ කාන්තාවක්, ඇය සතු ඩොලර් මිලියන 2.8 ක් වටිනා ඇගේ සියලු දේපොල සහ මුදල්, ඇගේ දූ දරුවන්ට නොදී, ඇය ආදරයෙන් ඇති දැඩි කරන බළලුන් සහ බල්ලන් ට ලබා දීමට තීරණය කර ඇතැයි ‘සවුත් චයිනා මෝනිං’ පුවත්පත පවසයි.

සියු නමැති ෂැංගායි පදිංචි මෙම වයෝවෘද්ධ කාන්තාව, මීට වසර කීපයකට පෙර, සිය අන්තිම කැමැත්ත සකස් කර තිබුණේ, ඇය සතු ඩොලර් මිලියන 2.8 ක මුදල ඇයගෙන් පසු ඇගේ දරු තිදෙනා අතරේ බෙදී යන ආකාරයටය. කෙසේ නමුත්, ඇගේ සිත වෙනස් වී ඇත. ඒ, ඇගේ දරුවන් ඇය නොසලකා හැරීම හේතුවෙනි.

ඒ අනුව, ඇය ඉතිරි කර යන මුදල් ඇය ආදරයෙන් ඇති දැඩි කරන සහ ඇයට පෙරළා ආදරය කරන බළලුන් සහ බල්ලන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවෙනු ඇති බව ඇගේ නීතීඥවරුන් පවසා ඇත. තමන් මියගිය පසු සුරතලුන් බලා ගැනීම සඳහා ඇය සත්ව ආයතනයක් ද සම්බන්ධ කර ඇතැයි වාර්තා වේ.

(චීන මාධ්‍ය ඇසුරිනි)