(චාපා මධුභාෂිණී)
තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීම නිසා අසරණ වූ මා පිය යුවළක් සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටිති.
අව්වට වැස්සට ආවරණයක් පවා නොමැතිව මැසි මදුරු පීඩාවන්ට ද ගොදුරු වෙමින් බස් නැවතුමේ ජීවත්වන මෙම යුවළ කෑම මෙන්ම ලබාගත යුතු බෙහෙත් ද නොමැතිව දැඩි ලෙස අසරණව සිටිති.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තමන් දියණියගේ කීම විශ්වාස කර ජිවත් වූ නිවෙස විකුණා දමා දියණියගේ නිවෙසට පැමිණි බවත්, දියණිය හා ඇගේ සැමියා නිවස විකුණීමෙන් ලැබුණු මුදල ද ලබාගෙන ඔවුන්ගේ නිවසින් පන්නා දැමූ බවත් එම මව පැවසුවාය.
ජේ.ඒ. සීලවති නැමති ඇය 69හැවිරිදි වියෙහි පසුවන අතර ඇගේ සැමියා වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා කුලියක් හෝ කර ගත නොහැකි බව ද ඇය සඳහන් කළාය.
තමන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවාය.
''අපේ දුව අම්මවයි තාත්තවයි අපි බලා ගන්නම් මුල් ඉඩම විකුණලා සල්ලි ටික දෙන්න කියලා 2019 අවුරුද්දේ පෙබරවාරි 4 වන දින කිව්වා. මට ඉන්න ඒකම දරුවා ඇය නිසා මම ඒ ඉඩම විකුණලා රුපියල් ලක්ෂ 6 දුන්නා.අපිත් දුවව විශ්වාස කරලා මැදිරිගිරියට ආවා. ඒ ආපු හැටියේම දුව අම්මයි තාත්තයි දැනට ගෙයක් කුලියට අරගෙන යන්න කිව්වා. ඉතිං අපි කුලියට ගෙවල් ගණනාවකම හිටියා. හිටි හැටියේම මගේ මහත්තයා වකුගඩු රෝගියෙක් වුනා. ඊට පස්සේ අපිට කුලී ගෙවා ගන්න මාරු වුණා.
කර කියා ගන්න දෙයක් නැති තැන අපි මැදිරිගිරිය පොලිසයට ගියා. පොලිසියෙන් අපිව දුවගේ ගෙදරට ගෙනිහින් දැම්මා. ඒ ගිහින් දාපු දවසට පහුවදාම මගේ දුවයි දුවගේ මහත්තයයි දෙන්නා අපිට 'බැහැපියව් දොට්ට' කියලා පන්නා දැමුවා. පිටිපස්සේ දොරෙන් අපේ බඩු එළියට වීසි කළා. අපි දෙන්නා පහුගිය 4 වෙනිදා අපේ රෙදි කඩමළුත් අරගෙන යන ඒන මං නැතිව ඒ ගෙදරින් එළියට බැස්සා. යන්න තැනක් තිබුනේ නැති නිසා අපි මැදිරිගිරියේ බස් නැවතුමේ නතර වුනා.
කුස ගින්න දැනුනත් කන්න දෙයක් ගන්නවත් අතේ සතේ තිබුනේ නෑ. මගේ කුසින් වදපු දුවට වඩා ගුණයහපත් මිනිස්සු මේ නගරේ හිටිය නිසා ඔවුන් අපිට කන්න බත් පැකට් ගෙනත් දුන්නා. මමයි මගේ මහත්තයයි දුව ලැබුනට පස්සේ ගොඩක් සතුටු වුනා. දුව මගේ සල්ලිත් අරගෙන සැපපහසුවට ගෙයක් හදාගෙන ඒයාගේ දරුවොත් ඒක්ක සතුටින් කාලය ගතකරනවා. පවු නෑ පුතේ මගේ කිරි ටික දීලා උස් මහත් කරපු මගේ දරුවට කවදාවත් වරදින්න ඒපා. අම්මෙක් විදිහට මම කවදාවත් අපිට කරපු දේට සාප කරන්නේ නෑ." ඇය කියන්නීය.
අපේ මහ ඉඩම තිබුනේ මීගමුවේ මිනුවන්ගොඩ ගුවන් හමුදා කදවුර ඉස්සරහයි. දුවට සල්ලි හදිස්සි කිව්ව නිසා ගොඩාක් අඩුවට තමයි ඒ ගේ විකුණන්න වුනේ. ගේ විකුණපු සල්ලි ටිකත් අරගෙන බඩුත් පටවාගෙන අපි මැදිරිගිරියේ දුව බලන්න ආවා. දුව අපිට කුලියට ඉන්න කිව්වත් අපි එදාවත් දුවට වචනයක්වත් කිව්වේ නෑ. මම අද රටේ ඉන්න සියළුම දෙමවුපියන්ට කියන්නේ වැදුව දරවටවත් ජීවිත බුක්තිය නොතියා ඉඩ කඩම් දේපල වස්තුව ලියලා දෙන්න එපා. එහෙම වුනොත් ඒදාට අම්මා තාත්තට යන ඒනමං නැතුව මහ මගට බහින්න වෙනවා." යැයි ද ඇය කීවාය.