සෞඛ්‍යයට වෙන් කළ දිනයේ ෂෙඩ් හිස්


 

(ඩයනා උදයංගනී සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දිනයේදී ඉන්ධන පිරවුම්හල් 84ක් වෙන්කර තිබුණත්, ඒවායින් නිසි පරිදි ඔවුන් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබිණි.

තම පිරවුම්හල සිකුරාදා දිනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෙන්කර ඇති බවක් නොදන්නේ යැයි ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් එහි ගොස් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබූ අතර, ඒවායින් වෙනත් පුද්ගලයින්ටත් ඉන්ධන ලබාදීම සිදුකිරීමෙන් හා ඇතැම් පිරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දිනය පුරා පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබිණි.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, මහරගම පිළිකා රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක දෛනික ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා වේ.

ඇතැම් වෛද්‍යවරුන් තම වාහන පෝලිම්වල තබා වෙනත් අයකුට බලාගන්නා ලෙස පවරා රෝහල්වලට ගොස් ප්‍රතිකාර කටයුතුවල නිරත වී ඇති අතර, පෙරදින රාත්‍රී සේවයේ සිටි කාර්ය මණ්ඩල යළිත් අද රාත්‍රී සේවයට වාර්තා කළ යුතුව තිබියදී මේ වන තුරුත් ඉන්ධන පිරවුම්හල් අසල රැඳී සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් දහස් ගණන් පිරවුම්හල් අතරින් 84ක් වෙන්කර එම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට නොහැකිවූයේ නිසි සන්නිවේදයක් හා ක්‍රමවේදයක් නොමැතිවීමෙන් බවයි.

ලබන සතියේදී හෝ මෙය සාර්ථක කරගැනීමට කටයුතු නොකළොත් සෞඛ්‍ය සේවාව පවත්වාගෙනයාමට නොහැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)