හක්කපටස් පිපිරී තුවාල වූ හැළ කිඹුලාට වනජීවි ඒකකයෙන් ප්‍රතිකාර


(ප්‍රියානි මංගලිකා )

ගිල දැමූ හක්කපටස් පිපිරීමෙන් තුවාල ලබා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට ඇතුළත් කළ  හැළ කිඹුලාට අද (04) එම නිලධාරීන්  ප්‍රතිකාර ආරම්භ කර තිබේ.​

අඩි පහක් පමණ දිගින් යුතු කිඹුලාගේ මුඛයට සහ අතකට හක්ක පටස් පිපිරී යාමෙන් දැඩි හානි සිදුව ඇති බවද, ගල්ගමුව වනජීවි නිලධාරීන් වැවක් අද්දර  අසාධ්‍යව කිඹුලා වැටී සිටියදී සොයාගත් බවද පශුවෛද්‍ය ඒකකය පවසයි.

අනතුරට ලක්වූ හැළ කිඹුලා  දැඩි ලෙස තුවාල ලබා, ආහාර ගැනීමටද නොහැකිව ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වන බවද, කඩිනම් ප්‍රතිකාර ආරම්භ කළ බවද වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි.

ආහාර සොයා ගිය කිඹුලා වන අලින්ට අටවා තිබු හක්කපටස් ගිල දමන්නට යෑමේදී අනතුරට ලක් වන්වන්නට ඇතැයි වනජීවි නිලධාරීහු සැක කරති.

නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර, වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ, අඩවි සහකාර මංජුල විජේපාල, නියාමක නිලධාරීන් වන ලලිත් පෙරේරා, සපුමල් බණ්ඩාර, ලක්ෂිකා ජයසුන්දර, සුගත් විජේසිංහ, රියදුරු හේරත් යන පිරිස කිඹුලාට ප්‍රතිකාර කරති.