හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පැවැති තාවකාලික සටන් විරාමය අවසන් විය. ඒ, සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කරමින්, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.
තාවකාලික සටන් විරාමය අවසන් වූයේ සතියකට පසුවය. සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. ඒ, සිවු දින සටන් විරාමයක් ලෙසය. පසුව දෙපාර්ශ්වය අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය සතියක් දීර්ඝ කර ගැනුණි.
හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරය සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කිරීමක් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යළි ප්‍රහාර ආරම්භ කළ බවත් ඊශ්‍රායල හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් සටන් විරාමයකට කැමැති කරවා ගත්තේ කටාර් රාජ්‍යයයි.