හලාවත ශා. ජුසේ දෙව්මැඳුරේ වාර්ෂික පෙරහැර පැවැත්වේ


 

(ඔගස්ටින් ප්‍රනාන්දු)

කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා  ජනතාව අතර පනවා ඇති නීති රීතිවලට යටත්ව හලාවත මැරවල ශුද්ධ වූ ජුසේ මුනිදුන් නමින් කැප කර ඇති දෙව්මැදුරේ වාර්ෂික පෙරහැර අද ( 30)  පස්වරුවේ ගම වටා වීදි සංචාරය කරමින් බැතිමතුන් ආසිරි ගැන්වුහ.
 
සෑම වසරකම මැයි 1 වන දින ජුසේ මුනිදුන් නමින් මංගල්‍ය පැවැත්වෙන නමුත්  පාස්කු ප්‍රහාරය නිසා පසු ගිය වසරේදිත් කොරෝනා රෝග තත්ත්වය මත මේ වසර‍ෙදීත්  මෙම පෙරහැර පැවැත්වීමට නොහැකි විය. කෙසේවෙතත්, අදාළ නීති රීතිවලට යටත්ව පෙරහැර පැවැත්වීමට ඊට හලාවත පොලිසිය නිසි අවසර ලබා දී තිබුණි.
 
බණ්ඩාරවත්ත මීසම් සේවක සුමේධ කෝලිත පෙරේරා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික කටයුතු නිසි ලෙසින් ගාම්භීර අයුරින්   පවත්වමින් සමාජ දුරස්ථ භාවය රකිමින් ශුද්ධ වූ ජුසේ මුණිදුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර වීදි සංචාරය ආරම්භ කළ අතර කිතුණු බැතිමත්හු ප්‍රතිමාව සිය නිවෙස් ඉදිරියෙන් ගෙන යන අවස්ථාවේ දි ඊට ගරු බුහුමන් දැක්වුහ.
 
කුමන තත්ත්වයක් යට‍තේ වුවත් තම ආගමික කටයුතු බාධාවකින් තොරව  පවත්වාගෙන යාමට උනන්දුවක් ඇත්නම් හැකි බව මෙම පෙරහැර මගින් සමාජයට යහපත් පණිවුඩයක් ලබාදුන්නේය.