හසලක ගාමිණී රණවිරුවාගේ ගුණ සමරයි


(රොමේෂ් මධුෂංඛ)

හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවාගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එන්.එස්. කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්  අලිමංකඩ යුද හමුදා කඳවුරේ දී පැවැත්විණි.


මෙම අනුස්මරණ උළෙල, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු මහතාගේ  අධික්ෂණය  මත සහ 662 බළසේනාධිපති බ්‍රිගේඩියර් පතිරවිතාණ යන අයගේ මෙහෙයවීම අනුව  සංවිධානය කර තිබිණි.


සෑම ජූලි මසකම 13 වැනිදා පවත්වන්නට යෙදුණු, හසලක ගාමිණි රණවිරුවාගේ ගුණ සැමරුම මේ වසරේදී ශ්‍රී ලංකාවට බලපෑ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර පැවත්වීමට නොහැකි විය. එබැවින්  සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එය අගෝස්තු මාසයේදී පැවත්වීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන තිබුණි.


මෙම අවස්ථාවේදී, අලිමංකඩ ඉදිකර ඇති හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න පිළිරුවට පැමිණ සිටි පිරිස පුෂ්පෝපහාර දක්වා ගුණානුස්මරණ කරන ලදී.


අලිමංකඩ ඉදිරි ආරක්‍ෂක වළල්ල කඩාදමමින්, යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්තවාදීන්ගේ යුද්ධ ටැංකියකට බෝම්බ සහිතව පැන වැදී, එය විනාශ කරමින් ත්‍රස්තවාදීන්ගේ ප්‍රයත්නය වැළැක්වීමට 1991 ජූලි 13 වැනිදා හසලක ගාමිණී රණවිරුවා දිවි පුදමින් කටයුතු කළේය.

මේ හේතුවෙන් අලිමංකඩ කඳවුරේ රාජකාරියේ නියුතු අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ජීවිත දහස් ගණනක්  බේරාගැනීමට හැකි විය. ඔහු කළ එම මෙහෙවර වෙනුවෙන්, අලිමංකඩදී පිළිරුවක් ඉදිකර ඇති අතර, විනාශ වූ එම යුද ටැංකියද ප්‍රදර්ශනයට තබා ඇත.