හීත්‍රෝ ගුවන්තොට පැය 24 කට වැසෙයි


(විමුක්ති එස් රුද්‍රිගු)


ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති විදුලි උප පොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් අද(21) රාත්‍රී 12 වන තෙක් පැය 24 ක කාලයක් සඳහා  එම ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග පැමිණෙමින් තිබූ ගුවන් යානා 120 ක් පමණ වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරවා යැවීමටත්, අනෙකුත් පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා සහ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් පිටවීමට නියමිතව තිබූ ගුවන් යානා සියල්ලද අවලංගු කිරීමට බලධාරීහු කටයුතු කළහ. විදුලි උප පොළේ ඇතිවූ ගින්න හේතුවෙන් ගුවන් තොටුපොළ විදුලිය වරින්වර විසන්ධි වීම එළෙස ගුවන් තොටුපොළ වසා දැමීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

හීත්‍රෝ ගුවන් තොටුපොළ ලොව කාර්ය බහුලම ගුවන් තොටුපොළවල්වලින් එකක් වන අහ්ටර සෑම තත්පර 45 කට වරක් ගුවන් යානයක් එම ගුවන් තොටුපොළට පැමිණීම හෝ පිටවීම සිදු කරයි. දිනකට ලක්ෂ 2 ක පමණ ජනතාවක් හීත්‍රෝ ගුවන් තොටුපොළ භාවිත කරයි. තවමත් විදුලිය ස්ථාවර ලැබෙන කාලයක් පැවැසීය නොහැකි බවත් ගුවන් තොටුපොළ නැවත විවෘත කරන තෙක් කිසිම මගියෙකු ගුවන් තොටුපොළට පැමිණීමෙන් වැළකිය යුතු බවත් ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.