හෙද වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට


(ඩයනා උදයංගනී)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙද හෙදියන් අද (1) ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

හෙද සේවයේ මූලික ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති හෙයින් ඊට විරෝධය පළ කිරීම සඳහා හෙද නිලධාරීන් අද (1) සහ හෙට (2) අසනීප නිවාඩු දැමීමේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

මාතෘ රෝහල්, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ කොරෝනා ප්‍රතිකාර රෝහල් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ කර නොගන්නා නමුත් එම රෝහල්වල හෙද නිලධාරීන් මේ දින වල සේවයට අත්සන් නොකර සාමාන්‍ය ඇඳුමකින් සැරසී සේවය කරන බව ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළත් කිසිදු විසඳුමක් නොදුන් හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව රත්නප්‍රිය මහතා පැවසීය.

කොරෝනා ප්‍රතිකාර කටයුතු කරන හෙද නිලධාරීන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා නොදීම, හෙද නිලධාරීන්ගේ උසස්වීම් ප්‍රශ්නය, හෙද සේවයේ මාණ්ඩලික තත්ත්වය අහිමි  කිරීම, හෙද සේවයට දින පහක වැඩ සතියක් ලබාගැනීම, හෙද විදුහල් උපාධි පීඨ බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: පාලිත ආරියවංශ)

බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරීන් අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වූ ආකාරය