හොරාට වෙඩි තැබූ ඕ.අයි.සී ඇතුළු 4ක් ගස්


(දිලීප් ජයසේකර)

වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු පොලිස් නිළධාරීන් සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (15) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ හුංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කරනු ලබන අම්බලන්තොට රිදියගම පදිංචි 58 හැවිරිදි පොලිස් පරීක්ෂක අරංවල ගමගේ උපුල්, තිස්සමහාරාම පදිංචි දැනට විශ්‍රාමික පොලිස් කොස්තාපල් වරයෙකු වන 63 හැවිරිදි ජයන්ති වාසගේ සුසිල් ජයබන්ධු, හම්බන්තොට වරාය පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව දැනට රාජකාරි සිදුකරනු ලබන පොලිස් කොස්තාපල්  දම්මුල්ල බෙලිඅත්ත පදිංචි 51 හැවිරිදි සරඹගේ සිරිල් හා එවකට තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් වරයකු ලෙස කටයුතු කර දැනට සේවයෙන් පහ කර සිටින මහදිවුල්වැව,අඹන්පොල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි පතිරාජ මුදියන්සේලාගේ රංජිත් සුසන්ත නැමති චුදිතයින් තිදෙනාටය.

චුදිතයින් 2005 ජුනි 29 වන දින තිස්සමහාරාම දෙබරවැව මාතර වත්ත ප්‍රදේශයේදී සොරකම් තුනක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී රාත්‍රි 12ට පමණ දෙබරවැව මාතර වත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන පසුව සැකකරුට දිව යන ලෙස පවසා වෙඩි තැබිම සිදුකර ඇති බවයි මුලික පොලිස් විමර්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ.පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ දෙබරවැව මාතර වත්ත පදිංචි ලොකු හැන්නදිගේ අමිල මහේෂ් නැමති අයයි.

වැටලිම සිදුකල පොලිස් නිළධාරීන්  සැකකරු නිවසින් එළියට ගෙන දිව යන ලෙස පවසා වෙඩි තබා ගොස් ඇති අතර පසුදින උදෑසන සැකකරු ඒ ආසන්නයේ නිවසක් අසල වෙඩි වැදී මියගොස් සිටියදී තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එවකට තංගල්ල කොට්ඨාශභාරව කටයුතු කළ පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් පරිදි විමර්ෂණ කටයුතු සිදුකෙරුණි.