‘අමරදේව අසපුව’ කැලයට යයි


(ඩයනා උදයංගනී)

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිකිරීම වෙනුවෙන් මීට වසර හතරකට පෙර රුපියල් කෝටි 20ක වියදමින් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ඉදිකිරීම ඇරඹුණු ‘අමරදේව අසපුවේ’ ගොඩනැගිලි මේ වන විට වල් බිහිවෙමින් පවතී.

මෙම අසපුවේ කොටසක තැන්පත් කිරීමට නියමිත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද වසර පහක් පමණ තිස්සේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම ඉකුත් මාර්තු මස අභාවප්‍රාප්ත වූ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද මෙහි තැන්පත් කිරීම සඳහා බව කියමින් එම මල් ශාලාවේම තැන්පත් කර ඇත.

මෙරට දරුවන්ට සංගීතය හැදෑරීම සඳහා ‘අමරදේව අසපුව’ නමින් ඉන්දියාවේ ශාන්ති නිතේකනය වැනි ආයතනයක් ආරම්භ කිරීම පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් ජීවත්ව සිටි සමයේදී කළ ඉල්ලීමකි.

අමරදේවයන්ගේ එම ඉල්ලීම ඉටුකරන බවට එතුමන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණු 2016 වසරේ නොවැම්බර් මස 5 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥාවක් ලබාදුන් අතර ඒ අනුව මෙහි ඉදිකිරීම් ‘අපේ ගම’ පරිශ්‍රයේ පර්චස් 120ක භූමි භාගයකදී ආරම්භ වූයේ 2017 වසරේ අගෝස්තු 28 වැනිදාය.

පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයට සිදුකළ අනුපමේය මෙහෙවර අගය කරමින් එතුමාගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදායන් සංරක්‍ෂණය කර අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් ඉදිවන ‘අමරදේව අසපුව’ පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්ථ සම්මන්ත්‍රණ ශාලාවක්, ශබ්දාගාරයක්, එළිමහන් රඟහලක් ආදී අංග රැසකින් සමන්විතය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අමරදේව අසපුව 2019 අගෝස්තු 31 දිනයේදී ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට එම වසරේ ජූනි මස උපදෙස් දී තිබුණත් එහි ඉදිකිරීම් කළ කොන්ත්‍රාත් සමාගමේ දුර්වලතා හේතුවෙන් එහි ඉදිකිරීම් මේ වන විටත් අවසන් කිරීමට නොහැකිව ඇත.

එවක ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඉදිකිරීම් ආරම්භ වූ මෙහි කටයුතු අවසන් කිරීමේ වගකීම වත්මන් රජය යටතේ බුද්ධ ශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පැවරී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා පැවසුවේ අමරදේව අසපුව පසුගිය රජය සමයේ සිට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතියත් එය මීට මාස හයකට පමණ ඉහතදී බුද්ධ ශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විෂයන් යටතට පවරනු ලැබූ බවයි.

බුද්ධ ශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී ඔහු පැවසුවේ හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් අමරදේව නමින් ඉදිවන මෙම අසපුවේ ඉදිකිරීම් මෙතරම් කල් ප්‍රමාද වී තිබීම කණගාටුවට කරුණක් බවයි.

මෙහි ඉදිකිරීම් ලබන වසරේදී අවසන් කිරීම තම බලාපොරොත්තුව බව කී ලේකම්වරයා තම සේවා කාලය අවසන්වීමට පෙර හෙළයේ ගාන්ධර්වයා වෙනුවෙන් එම යුතුකම කෙසේ හෝ ඉටුකරන බව ද සඳහන් කළේය.

තමන් මීට මාස තුනකට පමණ පෙර ඉංජිනේරුවන් ද සමඟ එම ස්ථානයට ගොස් එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුමක් සකස් කළ බවත්, මේ වන විට එයට වෙන්කළ මුදලින් ඉතිරි වී ඇති රුපියල් කෝටි 15 ක පමණ මුදලින් මෙය ඉදිකිරීම අභියෝගයක් වී ඇති බවත් හෙතෙම පැවසීය.

මෙය කොන්ත්‍රාත් සමාගමකට දී ඉදිකිරීමට එම මුදල් ප්‍රමාණවත් නොවන බැවින් ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා සමඟ සාකච්ඡා කර නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ මෙහි ඉදිකිරීම් සිදුකිරීමටත්, මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ සහයෝගයෙන් තිබෙන මුදලින් මෙහි කටයුතු අවසන් කිරීමටත් මේ වන විට සැලසුම් කර ඇතැයි ද ඔහු කීය.

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්වය හා මීට පෙර භාරගෙන ඇති ව්‍යාපෘති සිය ගණනක ඉදිකිරීම් කටයුතු හේතුවෙන් නාවික හමුදාව ඉතා කාර්ය බහුල නිසා, ඔවුන් විසින් මේ වන විට සිදුකරමින් පවතින ‘ජාතික කලාභවනේ’ අලුත්වැඩියා කටයුතු අවසන්වීමෙන් පසු ‘අමරදේව අසපුව’ ඉදිකිරීම් ආරම්භ කිරීමට මේ වන විට එකඟ වී ඇතැයි ලේකම්වරයා පැවසීය.

ඒ අනුව දැනට ඉතිරිව පවතින මුදල ලබන වසර වෙනුවෙන් වෙන්කර දෙන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි ද කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද දැන්ම එහි තැන්පත් කිරීමේ හැකියාවක් නැතැයි ඔහු කීවේය.

‘අමරදේව අසපුව සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී ඔහු පැවසුවේ අමරදේවයන්ගේ භෂ්මාවශේෂ වසර පහක් පමණ තිස්සේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබීම කණගාටුවට කරුණක් බවයි.

අමරදේවයන් දැයෙන් සමුගෙන පස් වසරක් සම්පූර්ණ වන ලබන නොවැම්බර් 3 වැනිදා රජයේ අවසර ඇතිව පුද්ගලික දායකත්වයෙන් හෝ අමරදේව අසපුවෙහි භෂ්මාවශේෂ තැන්පත් කිරීමට නියමිත ස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණ කර එම භෂ්මාවශේෂතැන්පත් කිරීමට උත්සාහ කරන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ අවසන් කටයුතු නිදහස් චතුරස්‍රයේදී 2016 නොවැම්බර් 5 වැනිදා සිදුකළ අවස්ථාවේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විමලා අමරදේව මහත්මියට දුන් පොරොන්දුවක් අනුව ආරම්භ කළ මෙම අසපුවේ ඉදිකිරීම් සාර්ථක කරගැනීමට එම රජය ද දැඩි උත්සාහයක් ගත් බව මහාචාර්යවරයා කීවේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා පහකදී පමණ එම ස්ථානයට ගොස් තම ධූර කාලය අවසන් වන්නට පෙර අමරදේව අසපුව විවෘත කිරීමට උත්සාහ ගත්තත් එහි කොන්ත්‍රාත්තුව භාරගත් සමාගමේ වැරදි හේතුවෙන් එම ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වූ බව ද පැවසීය.

මෙය බත්තරමුල්ල අපේගම පරිශ්‍රය වැනි පාසල් දරුවන් ආදී පිරිස් පැමිණෙන ස්ථානයක ඉදිකිරීම යහපාලන රජය ගත් ඥානාන්විත තීරණයක් බව කී මහාචාර්යවරයා දුරබැහැර ස්ථානයක මෙය ඉදිකළේ නම් මීගමුවේ ඇති ‘රුක්මණී දේවී ’ කෞතුකාගාරය මෙන් මෙය ද ජනතාවගෙන් දුරස් වනු ඇතැයි සඳහන් කළේය.

අමරදේවයන්ගේ පුත් රංජන අමරදේව මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මේ වන විට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ අමරදේව අසපුවේ ඉදිකිරීම් සැලසුම්වීම සතුටුවිය හැකි කරුණක් බවයි.

එම අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවලට තමන් ද සම්බන්ධ වූ බව කී රංජන අමරදේව මහතා එය නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් ඉදිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද පැවසීය.

කොන්ත්‍රාත් සමාගමේ වැරදි හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූවත් සිය පියාගේ අරමුණ ඉටුවනු ඇතැයි යන විශ්වාසය මේ වන විට තමා තුළ ගොඩනැගී ඇතැයි ද හෙතෙම කීවේය.

ඡයාරූප - ශාන්ත රත්නායක