‘ගඟේ පෙරහර’ පවත්වමින් දියකැපීමේ චාරිත්‍ර ඉටුකරති


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)

කළු ගඟ ඔස්සේ රතඔඇල්ල දක්වා 'ගඟේ පෙරහර'  පවත්වා දිය කැපීමෙන් අනතුරුව, මෙවර සමන් දේවාලයේ ඇසළ පෙරහර අද(03) නිමාවට පත් වූ බව බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා  පැවසීය.

දිය කැපීමේ චාරිත්‍රයට සහභාගී වූ  සමන් දේවාලයේ රාජකාරිකරුවන්, කපු මහතුන් මෙන්ම ගම්වාසීන් ද ඔරු අඟුල්වලින් කිලෝමීටර 6ක් පමණ දුර කළු ගඟ ඔස්සේ පැමිණීම 'ගඟේ පෙරහර' ලෙස හඳුන්වයි. සබරගමුවාසීන් මහත්  භක්තියෙන් සලකන මෙම ගඟේ පෙරහරට ගම්වාසීන් ඔරු අඟුල් යොදවා තිබුණි.

එවැනි ආගමික පෙරහැරක් ශ්‍රී ලංකාවේ සිදුකරන එකම අවස්ථාව සබරගමු මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය පමණි.                                                                                                            
සබරගමුව ‍මහ සමන් දේවාලයේ ප්‍රථම ජාතික පෙරහර උළෙල, චාරිත්‍ර සහ සංස්කෘතික වටිනාකම්වලට මුල් තැන දෙමින් සෞඛ්‍ය උපදෙස් පරිදි මෙවර පැවැත්වීමට කටයුතු කර තිබුණි. අගෝස්තු 29 වන දින ආරම්භ වූ සමන් දේවාලයේ රන්දෝලි පෙරහර ඊයේ (02) රාත්‍රියේ දී නිමාවට පත්විය.

ගඟේ පෙරහර සඳහා රජය නියෝජනය කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි සහ රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම යන මහත්මීහු එක්ව සිටියහ.