‘ගාන්ධි’ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් බව ට්‍රම්ප් කියයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි ‘මහත්මා ගාන්ධි’ගේ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

අප්‍රිකානු-ඇමෙරිකානුවකු වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මිය යෑමත් සමඟ එම මරණයට විරුද්ධව පැවැති විරෝධතා අතරවාරයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ඉන්දීය තානාපති කාර්යාලයට යන මාර්ගයේ තිබෙන ‘මහත්මා ගාන්ධි’ පිළිරුවට පිරිසක් හානි කර ඇත.

ජූනි 2 වැනිදා හෝ 3 වැනිදා එය සිදු වී තිබෙන අතර ඉන්දීය තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට පැමිණිලි කර ඇත.
‘‘එය මහ නින්දාවක්’’ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳුඳා (8) පැවැසීය.
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වන මහත්මා ගාන්ධි අහිංසාවාදයේ පියා ලෙස ද සැලකේ.

ඇමෙරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ද පැමිණිල කර ඇති අතර ඊට අමතරව තවත් අංශ කිහිපයක්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ට්‍රම්ප් පරිපාලනයේ බොහෝ දෙනකු ද මෙම ක්‍රියාව හෙළා දැක තිබිණි.

‘‘ගාන්ධි පිළිරුවට හානි කර එය විකෘති කිරීම මහ ගර්හාවක්. ඒක මහ ලැජ්ජාවක්’’ යැයි නෝර්ත් කැරොලිනා ප්‍රාන්තය නියෝජනය කරන සෙනට් සභිකයකු වන ටොම් ටිලිස් පැවැසීය.

‘‘ගාන්ධිතුමා කියන්නේ සාමකාමී ලෙස විරෝධතා කිරීමේ පුරෝගාමියා. විරෝධතා කිරීමෙන් විශාල වෙනසක් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා. කලහ කිරීමෙන්, කොල්ලකෑමෙන් සහ මිලේච්ඡ ලෙස හැසිරීමෙන් අප සියලු දෙනා එකතු කරන්න බැහැ. එහෙම එකතු වෙන්නෙත් නැහැ’’ ඔහු කීය.

ඉන්දියාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කෙනත් ජස්ටර් ද මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද තිබිණි.

 

එන්.ඩී.ටීවී. /රොයිටර්

055