‘මට සමාවෙන්න’ සුනාක් පරාජය බාර ගනී


කම්කරු පක්ෂය හමුවේ ලැබූ පරාජයත් සමඟ, කොන්සවර්ටිය් පක්ෂ නායකයා මෙන්ම වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් සිය පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලීමක් කළේය. මෙවර මහ මැතිවරණයෙන් කොන්සවර්ටින් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමන් බාර ගන්නා බව ද සුනාක් පැහැදිලි කළේය.

කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 400 කට වැඩියෙන් දිනා ගනිමිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 326 ක් දිනාගත යුතුය. රිෂී සුනාක් සහ ඔහුගේ කොන්සවර්ටින් පක්ෂය දිනා ගත්තේ ආසන 118 ක් පමණි.

කම්කරු පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් බව ප්‍රසිද්ධියට පත් වුණු සැණින්, පරාජය බාර ගනිමින්, සුනාක්, කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර්ට සුබ පැතුවේය. සුනාක් සිය පක්ෂ ආධාරකරුවන් හමුවී ඔවුන්ගෙන් සමාව ඉල්ලීමක් කළේ ඉන්පසුවය.

‘කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණා. මා ස්ටාමර්ට කතා කළා සුබ පැතුවා. මැතිවරණ පරාජය මා බාර ගන්නවා. මැතිවරණය පරාජය වුණේ මා නිසා. ඒ වගකීම මා ගන්නවා. මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පැහැදිලි කළේය. තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ද සූදානම් බව සුනාක් වැඩි දුරටත් කියා සිටියේය.

සම්ප්‍රදායට අනුව, පරාජය බාර ගැනීමෙන් පසු, රිෂී සුනාක්, තෙවැනි චාල්ස් රජු හමුවට ගොස් ඒ බව දැනුම් දෙයි. මැතිවරණය ජයග්‍රහණය කළ කියේර් ස්ටාර්මර් ද තමන්ට නව රජයක් පිහිටුවීමට හැකි බව ඉන්පසු චාල්ස් රජු හමුවී දැනුම් දෙනු ඇත. කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ රජයක් පිහිටුවන්නේ වසර 14 කට පසුවය.

(ඒ.එෆ්.පී.)