‘සේනානායක ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනවිත් තිබෙනවා’


ඡායාරූප - ඉෂාන් සංජීව

ඡායාරූප - ඩික්සන් වසන්ත

(මුදිතා දයානන්ද)

අපේ පරමාධිපත්‍යය තහවුරු කරලා අපි අපේ ක‍්‍රමයට කටයුතු කරන්න සූදානම් කියලා අපේ විදේශ ඇමැති ජීනීවා වලදී කරපු ප‍්‍රකාශයෙන් ඩී. එස්. සේනානායක ප‍්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනවිත් තිබෙන බව තහවුරු වෙනවා යැයි  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (22) පැවසීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසූයේ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේ පැවති ඩී. එස්. සේනානායක 67 වැනි අනුස්මරණ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදි අගමැතිවරයා මෙසේද පැවසීය.

‘අපි ඉදිරියට ගෙන යන්නේ ඩී.එස්. සේනානායක ප‍්‍රතිපත්තියයි. ඒ බව ඊයෙත් අදත් ජීනිවා වලදී තහවුරු වී තිබෙනවා. අපේ රටේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව නඩු අහන්න ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කිව්වා. ඒත් අපේ විදේශ ඇමැති ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදි ප‍්‍රකාශ කළා එහෙම අවශ්‍ය නැහැ. අපි ප‍්‍රජාතන්ත්‍රවාදී රටක්. අපේ රටේ ස්වාධීන අධිකරණයක් තිබෙනවා. ඒක ජාත්‍යන්තරයම පිළිඅරන් තිබෙනවා. ඒ නිසා අපිට මේ යෝජනාව පිළිගන්න බැහැ කියලා ඔහු කිව්වා. ඒ වගේම එතුමා මානව හිමිකම් කොමසාරිස්වරියට කිව්වා ඔබතුමියට හෝ වෙනත්  ඕනම කෙනෙකුට  ඕනම වෙලාවක අපේ රටට එන්න ඇවිත් බලන්න. ඒකට අපේ බාධාවක් නැහැ. නමුත් මේ ජාත්‍යන්තර අධිකරණ අපිට පිළිගන්න බැහැ කියලා. අපි ඒ පෙන්නුවේ අපේ ස්වාධීනත්වය. ඒක කොයිතරම් දුරට සාර්ථක වුණාද කියලා කියනවා නම් රටවල් කීපයක් ඉදිරිපත් කළ යෝජනාව නිතරයෙන් සම්මත වුණා.’

‘ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වුණේ? එදා ලංකා ආණ්ඩුව 2009 දී එක්සත් ජාතීන්ගේ මහලේකම් සමඟ ඇති කරගත් ගිවිසුම අනුවයි මේක සිද්ධ වුණේ. එදා එකඟ වුණා ජාත්‍යන්තර අධිකණයට යන්න. ඒක කරන්නේ කොහොමද කියලා එදා කල්පනා කළේ නැහැ. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය වුණා නම් මානව හිමිකම් කඩවුණා  නම් ඒක අපේ රටේ ස්වාධීන අධිකරණයෙන් එය කළ හැකි බව අප අද පෙන්වා දී තිබෙනවා. රණවිරුවෙක් වුණත් ත‍්‍රස්තවාදියෙක් වුණත් මානව හිමිකම් කඩකර තිබෙනවා නම් අපිට පුළුවන් අපේ අධිකරණයෙන් ඒ ගැන නඩු අහලා අවශ්‍ය දඬුවම් දෙන්න.’