‘සෝලා’ ගෙවීම් අඩු කිරීමෙන් රට විදුලි අර්බුදයකට වැටෙනවා


(යොහාන් භාසුර)

වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බවත් මෙම තීරණයත් සමඟ ලබන වසර වන විට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (27) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය.

කිලෝවොට් 500 සිට මෙගාවොට් එක දක්වා සමාගම්වලට විදුලි ඒකකයකට ගෙවන මුදල සියයට එකක් හෝ දෙකක් අඩු කළ ආණ්ඩුව සාමාන්‍ය  පාරිභෝගිකයන්ගේ ගෙවිම් සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩු කර ඒකකයක ගෙවීම රුපියල් 19 ක් දක්වා අඩුකර ඇති බව ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා පසුගිය ආණ්ඩුව වහළය මත ‘සෝලා’ පද්ධතිවල විදුලි ඒකකයක් සඳහා රුපියල් 27 ක මුදල් ගෙවූ බවත් එම ගෙවීමත් සමඟ ජනතාව තුළ වහළය මත ‘සෝලා’ පද්ධති සවිකිරීමේ දැඩි උනන්දුවක් ඇතිවූ බවත් ඒ මහතා කීය.

ජනතාව බැංකු ණයක් ගෙන හෝ තමන් ඉතිරිකරගත් මුදල් යොදා   කිලෝවොට් 20 දක්වා ‘සෝලා’ සවිකළ බව කී ඒ මහතා එම පද්ධතිය සවිකර උනන්දුව වසර හතර පහක් ගතවූ පසු පවුලේ ආර්ථිකයට සහයෝගයක් වන්නේ යැයි ජනතාව බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.

කුඩා සූර්ය බලගාර වහළය මත ඉදිකිරීම ජනතාව අතර ප්‍රචලිත කිරීමෙන්  මෙරට විදේශ විනියම එසේත් නැත්නම් ඩොලර් ඉතිරිකරගැනීම පසුගිය ආණ්ඩුව බලාපොරොත්තු වූ බවත් කාංචන විජේසේකර මහතා 2022 වසරේ විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව 2024 වන විට මොගාවොට් හාරපන්සියක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ ගිය බවත් ඒ මහතා කීය.

වර්තමාන විදුලිබල අමාත්‍යවරයා කළ යුත්තේ හිටපු ඇමතිවරයා පාවිච්චි කළ වාහනය සහ නිවාස වැනි දේවල් පිළිබඳව සේවීම පසක තබා එම ඇමතිවරු කළ හොඳ සේවල් ඉදිරියට ගෙන යෑම බවත් වෙනත් දේවල් පසුව සොයන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.