‘‘දුප්පත් කම නැතිකරනවා වෙනුවට ම්ලේජ්ච දේශයක් ඇති කරලා‘‘


(නිමල කොඩිතුවක්කු)

අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර තත්ත්වයක් රටේ නිර්මාණය කිරීමට ආණ්ඩුව සමත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මිලේච්ඡත්වය රජවන මිනිමැරුම් සංස්කෘතිය ක්‍රියාත්මක වෙන යුගයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට රජයේ සාමාජිකයන්ට උපකාරක පන්තිවලට යාමට සිදුව ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

නීතිය සහ යුක්තිය රජවනවා නම් අපරාධකරුවන් අපරාධ කරන්න බිය වෙන බවත් මිනිමරු දූෂණ ළමා අපචාර මංකොල්ලකෑම් මේ ජන සමාජයේ සිදුවන අපරාද ක්‍රියාත්මක කරන කණ්ඩායම්වලට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් යටියන්තොට තිබූ ජන හමුවක් අමතමින් ප්‍රේමදාස මහතා පැවසීය.

පාතාල කල්ලි හෝ මත්ද්‍රව්‍ය නිසා හෝ අධිකරණ සංකිර්ණයකට ඇතුළු වී මිනිමරන්න තරම් ඒ මිනිමරුවන්ට බියක් සැකයක් ඇති නොවන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බවත් මිනිමැරුම් කල්ලි බියක් සැකක් නැතිව සිටින තාක්කල් රටේ ජනතාවට සාමකාමීව නිදහසේ සිටින්න නොහැකි බවත් ඔහු කීවේය.

මිනිමරුවන්ට ජනතාවගේ නිදහස නැති කරන්න දිය නොහැකි බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය රටේ යුක්තිය හා සාධාරණත්වය ඇති කර නීතිය හා සාමය ස්ථාපිත කරන්න උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.