‘‘මම කියන දේවල් පිළිගන්න අය මේ ආණ්ඩුවේ නෑ‘‘


(හර්ෂණ තුෂාර සිල්වා)

“ මම කියන දේවල් පිළිගන්න අය යැ මේ ආණ්ඩුවේ ඉන්නේ ?” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (6) පස්වරුවේ ප්‍රකාශ කළේය.

මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී කඳු නොකපා පරිසරය ආරක්ෂා කරමින් එය ව්‍යාපෘතිය කළ යුතු ආකාරය තමන් පැහැදිලි කළ ද මහත්වරු දෙදෙනකු එය නොපිළිගනිමින් කඳු කපමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බව ද ජනාධිපතිවරයා කීය. 

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි බසින් රචනා කළ ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ සිංහල අනුවාදය වන ‘වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා එම කෘතිය සිංහල බසට අනුවාදනය කර තිබේ.

එහිදි තවදුරටත් උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

      “කඳු කපලා අලුතෙන් අධිවේගී මාර්ග දාගෙන යන බව වික්ටර් අයිවන් මහත්තයා ඔහුගේ දේශනයේදී කිව්වා. මම ජනාධිපති වගේම පරිසර ඇමති කියලා තමුන්නාන්සේලා දන්නවනේ. මහනුවර අධිවේගී මාර්ගය පටන් ගන්න කලින් කොළඹ ලොකු මහත්තයටයි නුවර ලොකු මහත්තයටයි දෙන්නටම මම කිව්වා කඳු කපන්න එපා කියලා. මම ඉංජිනේරුවරයෙක් නෙමෙයි. ඒත් පරිසරයට ආදරය කරන කෙනෙක් හැටියට විශේෂයෙන්ම කඳු කපනවට විරුද්ධ නුවරට යන අධිවේගී මාර්ග හදන්න ඕනේ විදිය මම දන්න විදියට කියලා දුන්නා.

වික්ටර් අයිවන් මහත්තයා, අවුරුදු තුනකට කලින් මම කිව්වේ මෙහෙයි. කොළඹ ඉඳන් අඹේපුස්ස පැත්තෙන් කුරුණෑගලට යන්න අධිවේගී මාර්ගය හදන්න. කඳු කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුරුණෑගල ඉඳලා නුවරට යන්න අදත් යන්නේ විනාඩි 35යි. ඒ හින්දා කඳු මුකුත් කපන්නේ නැතුව කුරුණෑගල ඉඳලා නුවරට යන පාර හොඳට ලොකු කරලා හදන්න කියලා මම කිව්වා. ඉතිං අර මං කියපු මහත්වරු දෙන්නම මම කිව්ව දේ පිළිගත්තේ නැහැ. ඉතිං තවම කරනවා. මම කියන දේවල් පිළිගන්න අය යැ මේ ආණ්ඩුවේ ඉන්නේ ? ඉතිං ඒක එහෙම තමයි”. 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර