‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘


සුනිල් එස් තන්ත්‍රිආරච්චි )

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා " යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය .

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර වෙට්ටුමකඩ පකිස්ථාන් ක්‍රීඩාංගනයේ පැවැති පාක්ෂික හමුවක් අමතා කතා කරමිනි .

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය .

පහුගිය කාලය තුල මේ රටේ ආණ්ඩු වෙනස්වූ ආකාර තිබුණා. ඇතැම් විට විවිධාකාර භාණ්ඩ බෙදීම් ,විදෙස් බලපෑම්,මාධ්‍ය මැදිහත්වීම් අදි විවිධ ක්‍රියා.එසේ නොමැතිව ජනතාවගේ මැදිහත්වීමෙන් ජනතාව අතට රාජ්‍ය බලය ලබා ගත් අවස්ථාව මෙයයි.

මේ ජයග්‍රහණය වැළැක්වීමට රට විනාශ කළ කණ්ඩායම් විවිධාකාර බොරු ප්‍රචාරය කළත් ජනතාව ඒවාට රැවටුනේ නැහැ .එම ජනතාවට පෙරළා සේවය කිරීම ජනතාවාදී ආණ්ඩුවක වගකීමක් .ආර්ථිකය ස්ථාවර කර විදෙස් සබඳතා ශක්තිමත් රාජ්‍ය යහපත් අතට හරවා ගැනීමට ගතවූ මාස දෙකක කාලය තුල අපට හැකිවී තිබෙනවා .

අපේ ඇමති මණ්ඩලය 21 යි.එදා පවුලට ,හිතවතුන්ට ඇමතිකම් බෙදා ගැනීමේ සංස්කෘතියක් තිබුණා .අපේ ඇමතිවරු ,මන්ත්‍රීවරු ජනතාව වෙනුවෙන් වගකීම් බෙදා ගන්න අය. අපේ ඇමතිවරු පිටුපස වාහන පෝලිම් ,පොලිස් රථ යන්නේ නැහැ .ඒක වෙනසක්.

තිබුණු ආණ්ඩුවල ඇමතිවරු රජයේ ගෙවල් බෙදා ගන්න පොර කෑවා.අපි කිසිම ඇමතිවරයකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ .

ඒවාට කුමක් කළ යුතුදැයි යෝජනා ඉදිරිපත් කිරීමට දැන් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ සමහර නිවාස හෝටල් වේවි.සමහරක් සංස්කෘතික මධ්‍යස්ථාන වේවි.තවත් ඒවා අධ්‍යාපන මධ්‍යස්ථාන වේවි මහින්ද රාජපක්ෂ මහත්තය ඉන්න නිවසේ රජයේ තක්සේරුව අනුව මාසික කුලිය විතරක් රුපියල් ලක්ෂ 46 ක්. පනත අනුව මාසික වැටුපෙන් 1/3 ක් ගෙවන්න පුළුවන් .ඒ රුපියල් 30,000 .ඉන්නම ඕන නම් ඉතිරිය අතින් ගෙවල ඉන්න පුළුවන් .චන්ද්‍රිකා ඉන්න නිවසත් ළඟදි තක්සේරු කරනවා . 

අමාත්‍යාංශවල වාහන පිරිලා .කාර් සේල් වගේ. කුඩා රටකට ඔරොත්තු දෙන්නේ නැහැ .ළඟදීම ඒ වාහන වෙන්දේසි කරනවා .

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනා ළඟදීම ගෙන එනවා .මන්ත්‍රීවරුන් වාහන පර්මිට් අරන් ලක්ෂ 60-70 කට වික්කා.ඉදිරියේදී කිසිම මන්ත්‍රීවරයකුට පර්මිට් ලැබෙන්නේ නැහැ .

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම ගැන විවාදයක් තිබෙනවා .ඉදිරියේදී කෑම වේළේ නියම වටිනාකම ගෙවල කැමති අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න පුළුවන් .

වර්ෂ 1960 දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගත්තේ බ්‍රිතාන්‍යයට පවුම් ලක්ෂ 2 1/2 ක් දීලයි.අපිට තෙල් ගබඩා කරන්න ඕන ඉන් 24 යි.අයිඕසී එකටත් දුන්නාම තව 61 ක් ඉතුරුයි.ඒවායෙ තෙල් මෙට්‍රික් ටොන් 6,10,000 ක් ගබඩා කළ හැකියි .ඒ අනුව ඉන්දියාව සමග තෙල් පිරිපහදුවක් ආරම්භ කර විදෙස් රටවලට තෙල් අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා .

අපට චීනයෙන් යුවාන් මිලියන 500 ක ප්‍රදානයක් ලැබුණා .

ජනතාවගේ දුප්පත්කම දුරැලීමට හා පොදු කටයුතු සඳහා එම මුදල් වැය කරනවා .චීනයේ දියුණු තාක්ෂණය මෙරටට ගෙන ඒම සඳහා තාක්ෂණ හුවමාරු වැඩසටහනක් ආරම්භ කරනවා .

(විශ්‍රාමිකයින්ට රුපියල් 3000/ ක වැඩිවීමක් ලබා දුන්නා.අස්වැසුම ප්‍රතිලාභ වැඩි කළා.පාසැල් සිසු සිසුවියනට රුපියල් 6000/ බැගින් ලබා දුන්නා. ජූනි මාසයේදී අස්වැසුම නියමාකාරයෙන් ලබා දීම සඳහා සමාලෝචනයක් කෙරෙනවා .

පසුගිය කාලයේ පොල් ප්‍රශ්නයක් ආවා.කොහොමත් නොවැම්බර් ,දෙසැම්බර් පොල් හිඟයක් එනවා .ඒවාට සැලසුම් හදන්න තමයි ආණ්ඩු තියෙන්න ඕන. ඉදිරියේදී උතුරේ පොල් අක්කර 40,000 වගා කිරීමට අප සැලසුම් කර තිබෙනවා .

අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියම දත්ත නැහැ .අපට සහල් ආනයනය කරන්න සිදු වුනා.පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩළයට රුපියල් දස ලක්ෂ 28 ක් ලබාදී තිබුණත් එක වී ඇටයක් අරන් තිබුණේ නැහැ .සල්ලිත් නැහැ .

(ඉදිරියේදී වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නවා .පෞද්ගලික අංශයටත් වී මිලට ගන්න පුළුවන් .හැබැයි සහල් නියමිත මිලට වඩා විකුණන්න දෙන්නේ නැහැ .ලියාපදිංච් නොවී වී රැස් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ .තමන් ළග ඇති සහල් තොග ගැන සතිපතා වාර්තාවක් දෙන්න ඕන.

හමුදා කඳවුරුවලින් ගිනි අවි අරන් ගිහින් මිනී මරල නැවත කඳවුරට එන ක්‍රියාවලියක් තිබුණා. එක් හමුදා කඳවුරකින් ටී 56 ගිනි අවි 73 ක් පිට කරල තිබුණා .ඉන් 38 ක් සොයාගෙන තිබෙනවා .හමුදාවේ කීප දෙනකු කුලියට මිනී මරලා කඳවුර ඇතුලට එන්න පුරුදුවී හිටියා . ඉන් 13 ක් මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබෙනවා .

අපි විදුලි බිල අඩු කරන බවට ජනතාවට පොරොන්දු වුනා .එය මේ වනවිට ඉටු කර තිබෙනවා .විදුලි බල මණ්ඩළයේ ණය මේ වනවිට භාණ්ඩාගාරයට ගෙන තිබෙනවා .ඒ ණය ගෙවිය යුතුයි .

පොදු ප්‍රවාහනය දියුණු කිරීමට අප කටයුතු කරනවා .චීනයෙන් හොඳ බස් රථ සංඛ්‍යාවක් ගෙන්වනවා.ලංගමට හොඳ තත්වයේ බස් රථ 1000 ක් ගේනවා .