(අංජුල මහික වීරරත්න)
ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවෙි යැයිද ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සුදානම් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේදී අද (24) පැවසීය.
තම යුතුකම තිබෙන්නේ ජනාධිපති ලෙස ජනතාවට ආහාර ලබාදී ඔවුන් දුකින් මුදවා ගැනීම බව කී ජනාධිපතිවරයා ජනපති ලෙස තමාට ඒ වගකීමක් තිබෙන බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ මඩකලපුව" පුළුවන් ශ්‍රී ලංකා" ජනපතිවරණ ප්රචාරක රැළිය අමතමිනි.
ලොව වෙනත් කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත් බවින් මිදී නැතැයි කී ජනාධිපතිවරයා රංජිත් මද්දුම බණ්ඩාර, හරිනි අමරසූරිය වැනි අයට අවශ්‍ය වූයේ මේ යන ක්‍රමය නතර කරන්නට බව කී ජනාධිපතිවරයා මැතිවරණයේදී එවැනි අය අතුගා දැමිය යුතු බව සඳහන් කළේය.
තමාගේ එකම අරමුණ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරගන්න නම් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුතු බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මේ වේදිකාවේ මගේ ගුරුවරයෙක් ඉන්නවා. රාජකීය විද්‍යාලයේ දී 12 -13 වසර වල ඉගැන්වූ ශිවලිංගම් මැතිතුමා මෙහි සිටිනවා.1961 කාලේ ඔහු මට ඉගැන්නුවා. මට පමණක් නොව දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් එතුමා ඉගැන්නුවා.ඉතින් රට ගොඩ ගැනීමේ ගෞරවයෙන් කොටසක් එතුමාටත් දිය යුතුයි.අනුර බණ්ඩාරනායක කථානායකතුමාටත්, මලික් සමරවික්‍රමටත් ඔහු ඉගැන්නුවා . මුළු කැබිනට් එකටම වගේ එතුමා ඉගැන්නුවා.
ඇතැන්ස් අධිරාජ්‍යයාගේ ඉතිහාස කතාව පිළිබඳව එකල රාජකීය විද්‍යාලයේදී අපට ඉගැන්නුවා. යම්කිසි බියගුළු ක්‍රියාවකින් හෝ අප සමග දුක් විඳින අනෙක් අය අතහැර දමා පැන ගොස් අපේ නගරයට අවමානයක් ගෙනත් නොදෙන බව එම ඉතිහාස කතාවේ කියවෙනවා.
2022 දී වෙන කවුරුවත් නොමැති වූ විට මා අභියෝගය භාර ගත්තේ ඒ පුහුණුවීම තිබූ නිසයි. ඒ ඔබගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නයි. ඔබට සහන ලබා දෙන්නයි. තරුණ පරපුරට අනාගතයක් ලබා දෙන්නයි.
රටේ ස්ථාවර භාවය ලබා ගැනීමටයි.එමෙන්ම රට නිවැරදි මාවතට යැවීම සඳහායි.අප පුළුවන් ශ්‍රී ලංකා යනුවෙන් කියන්නේ ඒකයි.මම අමාරු කාලයේ අභියෝගය භාර ගත්තා. විපක්ෂ නායකතුමාට මේ ගුරුතුමා හිටියේ නෑ. ඒ නිසා අත්දැකීම් නැතිව ඔහු පැනලා ගියා.හරි නම් විකල්ප අගමැති විය යුත්තේ විපක්ෂ නායකයි.ඔහුට ජනතාව රකින්න යුතුකමක් තිබෙනවා. ජනතාව දුක් විඳින විට ඔහු කළේ දුව ගොස් හැංඟීමයි.
ඔහු පෝලිම් ගැන ජනතාවගේ බඩගින්න ගැන හිතුවේ නැහැ. ජනතාව දුක් විඳින විට ඔහු පැනලා ගියා. ඔහු දුව ගොස් අවසන් කලේ පැරිස් ඔලිම්පික් එකෙන්. මගේ මිත්‍ර අනුර කුමාරත් හොයාගන්න බැරි වුණා. මේ ඇමතිවරු මා සමඟ හිටියා.අප මූල්‍ය අරමුදලට ගියා.
දුෂ්කර තීන්දු ගන්න වුණා.ඒවා පහසු තීරණ නොවේ. අපට දේශීය ණය ගැනීම සීමා වුණා. මුදල් අච්චු ගහන්න බෑ.වියදම් සඳහා ආදායම් හොයන්න වැට් වැඩි කරන්න සිදුවුණා. ආදායම් සීමා කළා. මේවා ලේසි පහසු තීරණ නොවේ. අවසානයේ ජනතාවත් ඒ බර බාර ගත්තා. මා ඔබ සැමට ස්තුති කරනවා.