(නිමල කොඩිතුවක්කු)
නිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු නිර්ධන පන්තිය අමතක කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද වන විට විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර වෙනස ජනතාවට පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක මහතා වැඩ කරන ජනතාව, පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඩක් නැගූ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දුප්පත් ජනතාව වැඩ කරන ජනතාව ගොවි ධීවර කම්කරු ජනතාව අමතක වී ඇතැයිද ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.
රටේ ජනතාව විදින දුක වේදනාව පීඩනය අසහනය ගැන ජනාධිපතිවරයාට හෝ රජයට අවබෝධයක් නොමැති බැවින් ජන දුක තේරෙන පිරිසකට ඉදිරියේදී ගම භාර කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.
එදා විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් අද එය නොවූ බවත් ජනතාවගේ පීඩනය මත මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කිරිමට නියෝග කළ නිසා විදුලි බිල අඩු කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
ඉන්ධන ගෑස් මිල ඇතුළු බඩු මිල සම්බන්ධයෙන් ද රජයට කිසිවක් කර ගත නොහැකිව කෙදිරි ගාමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට කිරිපිටි මිල, සහල් මිල, පොල් මිල වැඩි වී ඇති මොහොතක නහයෙන් අඩමින් කෙදිරි ගාමින් බල්ලන්ට වදුරන්ට වරද පටවා වැඩක් නොකර කෙදිරි ගාමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීම නිසා ජනතාව දැඩි පීඩනයකින් ජිවත් වන බවත් පාසල් උපකරණවලට සහ අත්‍යාවශ්‍ය ආහාරවලට පවා වැට් ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රැකියා ලබා දෙනවා කියා රැකියා විරහිත උපාධිධාරින් රවටා ඡන්දය ගෙන අද එම රැකියා විරහිත උපාධිධාරින් මහපාරට ඇද දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.