’’එල් බෝඩ්’’ පාර්ලිමේන්තුවට යැව්වොත් ලොකු අවුලක්


(අංජුල මහික වීරරත්න)

"එල් බෝඩ්"පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටට විශාල අර්බුදයක් ඇතිවීමට නියමිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවසන් ජනරැළිය අමතමින් මරදානයේදී අද  (11) පැවසීය.

ජනපතිගේ සිට මාලිමාවේ කිසිම පාලකයෙකුට පළපුරුද්දක් නැති බව දැනටමත් ඔප්පු වෙමින් තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා පලපුරුද්ද මෙන්ම කළ පුරුද්ද ඇති ගෑස් සිලින්ඩර අපේක්ෂකයන් බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යවන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

කොළඹ මරදානේ පැවති මෙම අවසන් ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මේ රටේ තිබුණු පෝලිම් සියල්ල අප විසින් නතර කළා.අපි මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සියල්ල කළමනාකරණය කර ගත්තා. 2028 වන විට අප ණය ගෙවීම ඇරැඹිය යුතුයි.ඊට  2042 වෙනතුරු කල් තිබෙනවා.

ණය ගෙව්වේ නැතොත් නැවත පෝලිම් යුගයකට යන්න වෙනවා. 

මේ වනතුරු ජනපති ආර්ථික දැක්ම කියලා නැහැ.විශාල  අවිනිශ්චිත බවක් තිබෙනවා.දැන් සහල් හොයාගන්නට බැහැ.පොල් මිල පොල් ගහටත් වඩා උස වී තිබෙනවා.බඩු මිල නෙළුම් කුලන වගේ උඩට යනවා.බිත්තර මිල වැඩි වෙනවා.මේවා විසඳගන්න ආණ්ඩුවට පුළුවන්ද?

මේ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ කොහොමද? ජනාධිපතිවරණයේ දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ගෙනාවා.දැන්  ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?

මූල්‍ය අරමුදල සමග කොළඹදී සහ වොෂින්ටන් නුවර දී සාකච්ඡා කළා. දැන් තුන්වන වාරිකය ගැනීම සඳහා සාකච්ඡා කරනවද?

මාලිමාව ජනාධිපතිවරණයේ දී බදු සහන දෙන බව කිව්වා. ඒවා ලැබෙනවාද? නැද්ද? කියා ප්‍රකාශයක් කරන්න.

රට ඉදිරියට යනවා නම් සියයට අටක විතර වාර්ෂික ආර්ථික සංවර්ධනයක් තිබිය යුතුයි. මේවා ලබා ගන්නේ කොහොමද? ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තබාගන්නවාද? කියා කියන්න.

මාලිමාව ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහනට සිදුවී තිබෙන්නේ කුමක්ද?