’’මෙහෙවර පියස” අද ජනතා අයිතියට


(රොමේෂ් ධනුෂ්ක සිල්වා) 

රටේ ශ්‍රම බලකායට ඵලදායී සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ  "මෙහෙවර පියස” ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු  අතින් අද (20)  විවෘත කෙරිණි.

2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32 කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.

කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථානගත කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ද, මහල් 5කින් යුත් රථ ගාලක් මෙන්ම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ.

කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර,  යන මහත්වරුන් ද කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.