’’රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නෑ’’


(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට රජයට කිසිදු  බලාපොරොත්තුවක් නැති බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහළ ශ්‍රේණිවල බොහෝමයක් බඳවා ගැනීම් සිදුකර ඇත්තේ සේවා අවශ්‍යතාවයට වඩා දේශපාලන උවමනාවට බවද අමාත්‍යවරයා කීය.

"රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් කළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙනවා. සමහරු බැංකු ණය අරන් ඇති.

නමුත් රජයෙන් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මහජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා. රාජ්‍ය සේවය බර වැඩියි කියන්නේ රාජ්‍ය සේවකයන් ඉවත් කරනවා කියන එක නෙමෙයි" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.