“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (30) පැවසීය.

නීතිඥ සාගර කාරියවසම් මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.  

පක්‍ෂය පාවාදුන් පිරිස පත්ව ඇති තත්වය පිළිබඳව දැනුවත්ව සිටින බවත් ජනතාව කියනවා නම් සැලුන්දොර  තවදුරටත් විවෘතව නොතබන බව මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂය පාවාදී ගිය කොටසක් වගේම 2022 වසරේම වෙනත් මතයක් දරා ගිය කොසකුත් සිටින බව කී කාරියවසම් මහතා අවසානය මොහොතේ  පක්ෂය පාවාදිලා ගිය පිරිස ඇතුළුව කිසිම ආකාරයකින් පක්ෂය පාවාදිලා ගිය පිරිස පක්‍ෂයට නොගන්නා බව ද සදඟන් කළේය.

සන්ධානගතවීම සඳහා ආරාධනා ලැබුණත් සන්ධානගත වන්නේ නම් සන්ධානගත වෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ එකගවෙන පක්ෂ සමඟ පමණක් බවත් ඒ මහතා කීය.

සන්ධානගත වීමට සූදානම් වන පක්ෂ රටේ ඒකීයභාවය පිළිගන්නා පක්ෂ නොව ඔවුන් වෙනත් මතවාද  දරණ පක්ෂ බව කී ඒ මහතා පසුගිය කාලයේ එම පක්‍ෂයේ නායකයින්ට කළ බොරු චෝදනා රටේ ජනතාව විශ්වාස කිරීම මෙම පසුබෑමට හේතුව බව ද ඒ මහතා කීය.

වර්තමාන ආණ්ඩුව කළ බොරු චෝදනා සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් එම චෝදනා ඔප්පු කිරීමට නොහැක වුවහොත් ජනතාව නැවත පොදුජන පෙරමුණ සමඟ එකතු වන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.