ගී මිහිර අපට දී නික්මගිය ප්‍රියාදර ප්‍රියා


සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදනාවක් වූ කල ඒ විරහ වේදනාව තේමා කරගත් ගීත ඇසීම යනු හොඳ ඔසුවකි. වෙසෙසින්ම විරහවට බෙහෙත විරහවම නොව, ආදරයම යැයි ඔහු ගැයූ බොහෝ ගීතවලින් ප්‍රකාශ වීම නිසා විරහවට පත්වූවන් පමණක් නොව, ආදරයම සොයන ආදරණීයයන් ප්‍රියාගේ ගීත එදා මෙන්ම අද ද රස විඳීමට රිසි ය. එය හෙට ද එසේමය. එහෙත් හෙට සිට අපට වින්දනය කිරීමට ලැබෙන්නේ ඔහු ගැයූ ඒ සදාදරණීය ගීත පමණකි. තමාටම හුරු රටාවකට මයික් එක රඳවාගෙන ඔහුටම ආවේනික රිද්මයකින් ගී ගැයූ ඒ මිනිසා මින් පසු කිසි කලෙක අපට හමු නොවනු ඇත. අටේ සිට අසූව දක්වා පිරිසකගේ රසිකාදරයක් ලැබූ ඒ මියැසියා ද පසුගියදා ස්වකීය ජීවන ගමනට සඳහටම සමුදී යන්නට ගියේය.
ප්‍රියයන්ගෙන් වෙන්වීම, ප්‍රියයන් අපෙන් වෙන්ව යාම අපට ඇති කරවන්නේ ශෝකයකි. එහෙත් ඒ වෙන්ව යාම අප කාටත් උරුම බැවින් අප ඊට අවනත විය යුතුමය. ඉරිදා ලංකාදීපය මේ සටහන් තබන්නේ වෙන්ව ගිය ඒ සදාදරණීය ප්‍රිය මියැසි කලාකරුවා වෙනුවෙනි!
ආදරණීය රසිකාගාරයකට ‘ප්‍රියා’ වූ ඔහුගේ සම්පූර්ණ නම වන්නේ මඩවල ලියනගේ දොන් සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූරියසේන ලියනගේය. ගායනා තරු තරුවක ලෙස කලඑළි බැසීමත් සමග  නිවේදකයින්, පූරකයින් ඔහුට ආමන්ත්‍රණය කරන්නට පටන් ගෙන ඇත්තේ ‘ප්‍රියා’ යන කෙටි-සරල නාමයෙනි. 1944 ඔක්තෝබර් 22  වැනිදා නාත්තන්ඩියේ දී උපත ලැබූ ඔහු සතර දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනියාය. ජේමිස් අප්පුහාමි පියාණන් වූ අතර ඔහු කටයුතු කර ඇත්තේ හමුදා නිලධාරියකු ලෙසය. ගෘහණියක ලෙස නිවස සැරසූ මව ඒ.එම්. පොඩි මැණිකේ නම් වූවා ය.


ප්‍රියා හට ගැයුමේ ආභාසය ලැබී ඇත්තේ තම අප්පච්චි ජේමිස් අප්පුහාමි නිසාවෙනි. හමුදා නිලදරුවකු වූ අප්පච්චි නිසා ඒ ආභාසය ආවේ කෙසේ ද යන්න ප්‍රශ්න කරගත යුතු නොවන්නේ ඔහුගේ අප්පච්චි එවකට සිටි හිටිවන කවි ගැයූ කවියන් අතර සූර කිවියකු වූ බැවිනි. හිටිවන කවි මඩුවලට යද්දී ජේම්ස් අප්පුහාමි මේ පුත්‍රයා ද කැටුව ගියේය. වේදිකාව මෙන්ම ගැයුමේ රසය ඔහුගේ ආත්මයට සමීප වූයේ අප්පච්චිගෙන් ලද ආභාසය නිසාමය.
කුඩා කාලයේදීම එලෙසින් කලාව ආත්මගත කර ගෙන තිබුණ ද,  ප්‍රියදර්ශී සූරියසේන අධ්‍යාපන තක්සලාවට පියවර තැබූ දින සිට සමත්කම් දැක්වූයේ ඉගෙනුමටය. නාත්තන්ඩිය සිංහල මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ,  පසුව නාත්තන්ඩිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුවකු ලෙසිනි. මහීපාල ගුරුපියාණන් ප්‍රියදර්ශී සිසුවා හට හමුවූයේ එහිදීය. ඔහු යටතේ සංගීතය හැදෑරූ ඔහු  වයලින් වාදනය ද ප්‍රගුණ කළේය. එපමණක් නොව තනු  නිර්මාණයට පවා  දක්ෂයකු වූයේය. නාත්තන්ඩිය මධ්‍ය මහා විද්‍යාලයට දීප්තියක් ගෙන දුන් ඒ සිසුවා විද්‍යාලයීය පෙරදිග වාද්‍ය වෘන්දයේ කැපී පෙනුණ සාමාජිකයකු ලෙස ගුරු - සිසු - මා පිය සියල්ලගේ ආදරය දිනාගැනීමට සමත් විණි. ඉගෙනීමට මුල් තැන දී කටයුතු කළ නිසාම උසස් පෙළ ප්‍රතිඵල ලැබුවේ ද විශිෂ්ට අයුරිනි. ඉනික්බිතිව අද සෞන්දර්ය සරසවිය වන එදා රජයේ සංගීත විද්‍යාලය ලෙස හැඳින්වූ හේවුඩ්  ආයතනයට ගියේ සංගීතය පිළිබඳව වැඩිදුර හැදෑරීම වෙනුවෙන් බාහිර සිසුවකු  ලෙසය. 1971 වසරේදී එයින් නික්ම ගියේ තෙවසරක සාර්ථක අධ්‍යාපනයක් ලැබූ, සංගීත අංශයේ නිපුණයකු හැටියටය. ඊට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බයිලා ගී ගායන පරීක්ෂණයෙන් සමත්ව සිටියේය. බයිලාවට ගැයුම  ශේෂ නොකළ හේ භාරතීය සංගීතඥයකුව සිටි දීපාල්  නාත් ප්‍රමුඛ පරීක්ෂණ මඩුල්ල ඉදිරියේ පැවැති සරල ගී පරීක්ෂණයෙන් සමත්ව ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙස ගී ලොවට ප්‍රවිශ්ට විණි.
ප්‍රියාදර ප්‍රියාගේ ගී රසාදරයේ මූලාරම්භය සනිටුහන් වූයේ රෝහණ මද්දුමරාල රචනා කළ පදවැලකට, ප්‍රියා විසින්ම තනුව හා සංගීත නිර්මාණය කළ 
‘‘අඳුර අඳුර මගේ’’
සොඳුර සොඳුර මගේ... 
ගීතය ගැයුමෙනි. අඳුර... අඳුර...මගේ යැයි ඔහු කීව ද ප්‍රියාගේ මියැසි දිවිය, සොඳුරු මිහිරි ගමනක් බවට එතැන් සිට පරිවර්තනය වුණි. ගුවන්  විදුලියේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියකුව සිටි හේ ප්‍රථම රැකියාව ලෙස කටයුතු කර ඇත්තේ නාත්තන්ඩියේ, විවිධ සේවා සමිති සංගම් ආයතනයක, අයකැමිවරයකු ලෙසය. ඉන් වසර කිහිපයකට පසු 1977 දී රජයේ ගුරු පත්වීමක් ලැබ කටුනේරිය පාසලේ සංගීත ගුරුවරයකු ලෙස පත්වීම් ලැබ සිසු දරුවන් වෙනුවෙන් මහත් සේ කැපවූ ගුරු පියකු  ලෙස කටයුතු කළ  වග සඳහන්  වේ. පසුව නුගේගොඩ විජේරාම මහා විද්‍යාලයේ සහ ඉනික්බිතිව ගුරුකුල මහා විද්‍යාලයේ සහ තවත් විද්‍යාල කීපයක සංගීත  ගුරුවරයකු ලෙස පත්වීම් ලැබ කටයුතු කළේය. මර්වින් පෙරේරා විශිෂ්ටයා සමග ප්‍රියා හට ගුරුකුල විද්‍යාලයේදී  කටයුතු කිරීමට ලැබීම හේ සැලකුවේ මහත් භාග්‍යයක් කොටය.
 තවත් වසර කීපයකට පසුව ප්‍රාසාංගික වේදිකාවේ අතිශය කාර්ය බහුල ජනකාන්ත ශිල්පියකු වූ නිසාවෙන් ගුරු වෘත්තියට සමුදුන් අතර ප්‍රියා සූරියසේන ලෙස මුදාගත වී ඇත්තේ එතැන් පටන්ය. දිවයිනේ ඕනෑම වූ ප්‍රසංගයකට නැතිවම බැරි චරිතයක් වූ ප්‍රියා ඒ අතරේදී ඇන්ටන් ජෝන්ස් ශිල්පියා සමග එක්වී කැසට් නිෂ්පාදන ආයතනයක්ද අරඹා තිබිණි. පසු කලෙක එය තවත් පුළුල්  ව්‍යාපාරික ආයතනයක් වූයේ ලක්ෂිත ට්‍රේඩ් සෙන්ටර් නමිනි. 
ආදරණියව ගී ගැයු ප්‍රියාගේ ආදරයද බෙහෙවින්ම ආදරණීය වූවක් වීය. ඒ තමරා කුමාරී නිසාය.  
සරතැස නිවා දිවි කතරේ..
ඔබ හමු වුණා මට සොඳුරේ... 
ඇය හමුවේ ප්‍රියා මුමුණේය.  හෙට යැයි තවත් දිනක් මට ඇත ඔබ නිසා.. යැයි සඵත වූ ප්‍රියා ඉන් නොනැවතී,
මට වාසනා ඔබ මට වාසනා
උප නූපන් හැම ආත්මයේ යැයි.. ඉඳුරාම කීය..


 ඇය ඔහු හට හමු වූයේ ගුරු වෘත්තියේ යෙදී සිටි මුල් කාලයේදීය. එය  දීර්ඝ කාලීන ප්‍රේම චාරිකාවක් වී  රන් මල් මාලා දා.. ප්‍රියා ඇය කැන්දාගෙන ගියේ 1978 වසරේ දීය.  මිනෝෂි, ඉරෝෂි, සයාෂි, සහ ලක්ෂිත  යනු තමරා සහ ප්‍රියාගේ කැදැල්ලේ දුවා දරුවෝය.  මේ දියණියන් තිදෙනා මෙන්ම ලක්ෂිත පුතු යනු අධ්‍යාපනයේ විශිෂ්ට ඵල නෙළා ගත් දරුවෝය.  එහෙත් දරුවන්ගේ ජයග්‍රහණ හමුවේ  මේ ප්‍රියාදර තාත්තා  කිසි විටෙකත් හිස උදුම්මවා ගත්තෙකු නොවුණි. දරුවන් මේ ආදරණීය පිය චරිතය ආමන්ත්‍රණය කළේ අප්පච්චි යනුවෙනි. තමරා​ සහ ප්‍රියා යනු වඩා ආදර්ශවත් යුවළක් යැයි බොහෝ දෙනා පවසන්නකි. 
ආදරණීය ප්‍රියාගේ ගීත කලාව දෙස විමසුම් කර බලද්දී ඔහු ගයා ඇත්තේ ආදරය, විරහව, ප්‍රේමය ගැන පමණක්ම නොවේ. පිය ගුණ, මව් ගුණ, බොදු බැති ගී මෙන්ම තවත් තේමා යටතේ  ප්‍රියාදර ස්වරය ගලා ගොස් ඇත. ඒ ගීතාවලියේදී ඔබ වඩා කැමති ගීතය කුමක්ද යැයි විමසුව හොත්, ඒ සියල්ලම රසාලිප්ත බැවින් එකක් නොව ඒ ගී රස මී පොකුරුම වේ. ඒ අතරින් ප්‍රේම් හෙවත් ආදරණීය ප්‍රේමකීර්තිද අල්විස් සුසර ගී පද රුසියා සමග ප්‍රියා එක්ව කළ ගී පොකුරු සුසංයෝගය  නම්, ඉතා මනරම්ය.. සුමිහිරිය. ප්‍රියා ගේ මිත්‍ර සංධානය ද ලෙගතු වූවක් වීය. මිල්ටන්, ජෝති, එම් එස්, ඇතුළු හැත්තෑව දශකය ස්වර්ණමය කළ සෑම සියලු දෙනෙක් සමග ඔහුට තිබුණේ වඩාත් ළෙන්ගතු බැඳීමක්ම වීය. 


ප්‍රියා ස්වකීය හඩ සිනමාවට මුසුකළේ, පතිරාජ එල් එස් දයානන්දයන්ගේ සෙලීනාගෙ වලව්ව චිත්‍රපටයෙනි. එතැන් සිට සිනමා නිර්මාණ දොළහකට පමණ පසුබිම් ගී ගැයූ ප්‍රියාගේ ප්‍රේමණිය සිනමා ගීතය වූයේ මිල්ටන් සහ ග්‍රේෂන් සමග ගැයූ කැන්දන් යන්නම් රන් මල් මාලා ගීතයයි. සේන සමරසිංහයන්ගේ මල් කැකුළු චිත්‍රපටයට ශ්‍යාමි ෆොන්සේකා සමග ගැයූ බිඳු බිඳු කඳුළු ගලා ගීතයෙන් ප්‍රියා තවත් හැඩයක් එක් කළේය. 
ඔහුගේ නමින් කැසට් පට 53 ක් සහ සංයුක්ත තැටි නොහොත් CD  27 ක් පමණ නිර්මාණය වී ඇති අතර එකී සියලු අංශ ඔස්සේ ප්‍රියා ගැයූ ගීත ගණන හාරසීයයකට වඩා වැඩිය. 
ඔහු ගැයූ ගි දෙස තවත් විදිහකින් විමසුම් කර බලද්දී පෙනී යන්නේ ඒවා එදාටත් වඩා අදට මෙන්ම අදට වඩා හෙටට රස රසයක් ගෙන දෙන වියපත් නොවන සැමදාටම තුරුණු ගී රිද්මයක් මැවු ගී නිර්මාණ යනුවෙනි. 
එනිසා ගතින් නික්ම ගියද සදාදරණීය ප්‍රියා සූරියසේනයන්ගේ සොඳුරු -මිහිරි ස්වරය අනාගත රසිකත්වයේ  වින්ඳනයේ ඉහළින්ම වැජඹෙන තවත් රස ස්වරයක් වනු නොඅනුමානය. ඈත රන් විමන් අතරේ සිට ප්‍රියාදර ප්‍රියා ඒ දෙස බලා සතුටු වනු ඇත. ප්‍රියයාණෙනි..ගීතයෙන් අප පිනවූවාට ස්තුතියි ඔබට... බොහෝම පින් .. ප්‍රිය  නින්දක්ම වේවා..! 
  සඳුන් ගමගේ