1956 ලංකාදීප ජයන්ති පංච කල්‍යාණිය “කාන්ති”


“පඤච කල්‍යාණ” 
යන්නෙහි තේරුම ස්ත්‍රියකගේ සුරූපී භාවය මැනීමේ ලක්ෂණ පහ ලෙස ද එය කේශ, මාංස, දන්ත, ඡවි, වයඃ යන කල්‍යාණ පස ලෙස ද ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගගේ “මහා සිංහල ශබ්ද කෝෂයේ” අර්ථ දක්වයි. එය කෙස්, මස්, දත්, සම හා වයස ලෙස සරසවිය සිංහල-සිංහල ශබ්ද කෝෂයේ සඳහන් වෙයි. බෝරුග්ගමුවේ සිරි රේවත නායක ස්වාමීන්ද්‍රයෝ “සිංහල මහා අකාරාදිය” කෘතියේ පඤච කල්‍යාණ ලක්ෂණ ගැන අගනා හැඳින්වීමක් කරති.


“මොණර පිල් කළඹක් මෙන් මුදා විදි කල උකුලෙහි පැහැර නැවත අගින් නැමී උඩු බලා සිටීම වූ කේශකල්‍යාණය, තොල් බිඹු ඵල සෙයින් වර්ණවත්ව සමව සුපිහිතව සිටීම හෝ ස්ථූල හෝ කෘශනොව ශරීරයෙහි ඒ ඒ 
අවයවයන්හි මස් සුදුසු පරිද්දෙන් පිහිටීම යැයි කියන ලද මාංශකල්‍යාණය, දත් සුදුව සිදුරු නැතිව සමව ගොතා තිබූ වීදුරු පෙලක් මෙන් ද, සම කොට කැපූ සක් පතක් මෙන් ද, මනා පිහිටීමයයි කියන ලද දන්තකල්‍යාණය, තල කැළල් ආදිය නැති ඔප ඇති සම පිහිටීම යැයි කියන ලද ඡවි කල්‍යාණය, දරුවන් දස දෙනෙකු ලදුවත් එක දරුවෙකු ලද්දියක මෙන් ද එක්සිය විසිවයස් ගියත් සොළොස් අවුරුදු වයස් ගිය තැනැත්තියකගේ මෙන් වයස පිහිටීම යයි කියන ලද වයස්කල්‍යාණ යන ස්ත්‍රී ලක්ෂණ පසක්.”


1956 ජයන්ති වසරේ ලංකාදීප හා ඉරිදා ලංකාදීප පත්‍ර සංවිධානය කළ වසරේ                   “පංච කල්‍යාණි” තරගයේ අවසාන තරගය 1956 ඔක්තෝබර් 06 වැනිදා කොළඹ නගර ශාලාවේදී පවත්වා ඇත. එහිදී පංච කල්‍යාණිය ලෙස අභිෂේක ලැබුවේ අම්බලන්ගොඩ පොල්වත්තේ දහනව හැවිරිදි කාන්ති ගුණතුංග මෙනෙවියයි. ඇගේ අංකය 06ය. 


පංචනාරි විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය වන කිරිඇල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කුසුමා ගුණවර්ධන මැතිනිය (ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳ) ඇයට මල් මාලාවක් පැලඳවීමෙන් ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළාය. 1956 ඔක්තෝබර් මස 07 වැනිදා “ඉරිදා ලංකාදීප” පුවත්පතේ මුල් පිටුවෙන් වාර්තා කර තිබූ අන්දමට පංචනාරි විනිශ්චය මණ්ඩලය මගින් ජයන්ති වසරේ පංච කල්‍යාණිය තෝරා ප්‍රකාශයට පත් කරත්ම සක් මඟුල් බෙර හඬ හා ප්‍රීති ඝෝෂා පුරහල පුරා එක නින්නද වෙමින් පැතිර ගොස් ඇත.


පංච කල්‍යාණි තරගයෙන් තේරුණ ඉතිරි රූමතියන් මෙසේය.


දෙවැනි ස්ථානය-
කිරිඳිවැල සුසිලා ස්වර්ණලතා මෙනෙවිය (අංක 42)


තෙවැනි ස්ථානය-
මාතලේ හුලංගමුව වලව්වේ සුජාතා 
පරමනාදන් මහත්මිය (අංක 19)


සිව්වැනි ස්ථානය-
නුගේගොඩ අමරා වික්‍රමසිංහ මෙනෙවිය (අංක 40)


පස්වැනි ස්ථානය-
රත්නපුරේ හංගමුවේ ලිලියන් කමලා මෙනෙවිය (අංක 31)


මේ තරග 
විනිශ්චය අනුව 1956 පංච කල්‍යාණි තරගයේ ඡායාරූප අංශයේ තෑගි ජයග්‍රාහිකාවන්ගේ අනුපිළිවෙලට එම 
ඡායාරූප ගත් ඡායාරූප ශාලාවට හිමි වී ඇත. (1) රු. 500 ත්‍යාගය ගයා ස්ටුඩියෝ අම්බලන්ගොඩ. (2) රු. 250 නිව් චිත්‍රා ෆොටෝ ගම්පහ. (3) රු. 100 සීතා ස්ටුඩියෝ මාතලේ (4) රු. 100 ඩයස් සහ සමාගම පාදුක්ක. (5) රු. 100 පෙරේරා ආට් ස්ටුඩියෝ රත්නපුරය.


උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලංකාදීප වාර්තාකරු විස්තර කර ඇත්තේ මෙසේය.


 “දිවයින පුරා ඉමහත් ආන්දෝලනයක් සති ගණනාවක් තිස්සේ ඇති කළ මේ මහා තරගයේ අවසාන වාරය සෞභාග්‍යයේ මූර්තිය වූ පුන් කළස් ගෙන, රෙද්දෙන් සහ හැට්ටයෙන් සැරසී මුදා හළ කෙස් කළඹින් යුතුව පංච කල්‍යාණියන් 45 දෙනා වේදිකාවට පිවිස ඒ ඉදිරියෙන් වූ දිගැති වේදිකාව පුරා ඇවිද නික්ම ගියහ. සුන්දර සිරුර මොළකැටි දෙකපොල් ඇද හැලෙන ඝන නිල් කෙස් වැටි සිත් පොළඹවන ගමන්, මඳලස බැල්ම මේ මේ යයි විදහා පාමින් අවසාන වටයට තේරුණු සුන්දරතර ලලනාවන් පස්දෙනා වේදිකාව අරා උන්හ.”


පංච කල්‍යාණි විනිශ්චය මණ්ඩලය එක් සාමාජිකාව බැගින් පිළිවෙළින් වේදිකාවට නැග අවසාන වශයෙන් තේරුණු පංච කල්‍යාණියන් පස් දෙනාට මල් මාලා පැලඳ වූහ. කුසුමා ගුණවර්ධන (සභාපතිනී), තමරා කුමාරි ඉලංගරත්න, කාමන් වීරකෝන්, සෝමා උඩබාගේ, රුක්මණී බෙලිගම්මන යන මැතිනිවරු විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වූහ. මුල් තැනට තේරුණ කාන්ති ගුණතුංග වර්ෂ 1955 තිරගත වූ 
“සුරංගනී” චිත්‍රපටයෙන් ද තෙවැනි තැනට තේරුණ සුජාතා චන්ද්‍රදාස වර්ෂ 1955 තිරගත වූ “සැඩසුළං” චිත්‍රපටයෙන් ද සිනමාවට පිවිස තිබුණහ. මේ තරගකරුවන් අතුරින් විවාහ වී සිටියේ සුජාතා පමණි. විවාහ වීමට පෙර ඇගේ නම චන්ද්‍රදාසය.


 පුරහල තුළ පැවැති තරගය අවසානයේදී සවස 6.30ට පංච කල්‍යාණි මහා සංදර්ශනය ආරම්භකොට ඇත. උඩරට හේවිසි කණ්ඩායමක් පෙරමුණ ගත් මේ පෙරහැරේ උඩ පහත දෙරට නැටුම් කණ්ඩායම් පිරිවරා ගෙන ඓතිහාසික හෙළ කතුන් මෙන් සැරසුණු සුප්‍රකට නිළියන් පස් දෙනෙක් ද වනිතා රූ සපුව එක් තැන් කළාක් මෙන් එකට රැස්ව හුන් රූමතියන් 45 දෙනා ද පසඟතුරු ගොස නංවමින් ඇත්, අස්, රිය, පාබල චතුරංගනී සේනා කැටුව ‘ටරට් පාර’ ඔස්සේ ගාලු පාරට පිවිස අරලියගහ වලව්ව කරා ගමන් කර ඇත. කුවේණිය මෙන් “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයේ රඟපෑ රෝහිණී ජයකොඩි ද, විහාර මහාදේවී ලෙස සැදුණු “ඩිංගිරි මැණිකා” චිත්‍රපටයේ රඟපෑ සීතා නානායක්කාර ද, සෝමාදේවි මෙන් සැදුණු “දුප්පතාගේ දුක” චිත්‍රපටයේ රඟපෑ උදුලා දාබරේ ද, ලීලාවතී රැජින මෙන් සැදුණ “සුරතලී” චිත්‍රපටයේ රඟපෑ සිරිමතී රසාදරී ද, ඇහැලේපොල කුමාරිහාමි මෙන් සැදුණු “දුප්පතාගේ දුක” චිත්‍රපටයේ රඟපෑ ගර්ලි ගුණවර්ධන යන මෙනෙවියන් විසිතුරු ලෙස තැනුණු රියවල නැගී ගමන් ගත් අයුරු ලංකාදීප වාර්තාකරු වර්ණනා කර තිබුණි.
පෙරහර අරලියගහ වලව්ව අසලට පැමිණි විට 1956 පංච කල්‍යාණි සහ ඇගේ පරිවාර පංච කල්‍යාණියන් සිව්දෙනා තම රථයෙන් බැස අරලියගහ වලව්වට ගොස් අගමැති බිරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින් තෑගි ලැබූහ. අනතුරුව ගාලු මුවදොර ඔස්සේ රජගෙදර කරා පෙරහර පැමිණි විට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක පංච කල්‍යාණියන් පිළිගෙන ඇත. රජගෙදර සිට ලංකාදීප කාර්යාලයට පැමිණි පසු මේ සංදර්ශනය හමාර වී ඇති අතර එහිදී “ලංකාදීප” කර්තෘ ඩී.බී. ධනපාල මහතා අතින් කාන්ති ගුණතුංග මෙනවිය පංච කල්‍යාණි තිළිණය ලබා ගත්තාය.


මීට වසර 61 පෙර පැවැත්වූ ලංකාදීප ජයන්ති පංච කල්‍යාණි තරගයෙන් ජයග්‍රහණය ලැබූ කාන්ති ගුණතුංග පසුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට නිළියක් වූවාය. ඇය දැන් ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින්නීය. 1937 මාර්තු 23 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ උපත ලැබූ කාන්ති ගුණතුංග අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු දෙහිවල ප්‍රෙස්බිටේරියන් විද්‍යාලයට ඇතුළත් වූවාය.


පංච කල්‍යාණි තරගයෙන් අභිෂේක ලැබූ ඇය 1956 ඔක්තෝබර් 25 වෙනිදා “කලා” සඟරාවට කළ ප්‍රකාශයක තමා කුඩා කල සිටම චිත්‍රපට නැරඹීමට තිබූ ඇල්ම මෙසේ ප්‍රකාශකොට තිබුණාය.


“සහෝදරියන් හතර දෙනෙකුගෙන් හා සහෝදරයකුගෙන් යුත් අපේ පවුලේ සැමටම හොලිවුඞ් නළු නිළියන්ගේ නම් යොදා කතා කිරීමේ සිරිතක් අම්මාටත්, තාත්තාටත් තිබුණා. අප ද ඒ ඒ හොලිවුඞ් තාරකාවන්ගේ නාමවලින් එකිනෙකාට ගෙදරදී පමණක් කතා කළා. මේක අපිට විනෝදයක් වුණා. මා (රුක්මණි දේවි මෙන්) සිනමා තාරකාවක් වීමට සිහින මැව්වත් මෙතරම් ඉක්මනින් එය ඉටුවේ යයි සිතුවේ නෑ.”

 දිනක් කාන්තිගේ පවුලේ හැමදෙනාම බේරුවල නෑදෑ මඟුල් ගෙදරක ගියහ. එවකට ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ වැඩිමහල් අක්කා වූ මාලිනී (ඇය ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියව සිට දැන් විශ්‍රාම ලබා ඇත) අක්කා ද කාන්ති මෙන්ම රූමත්ය.


“එදා මඟුල් ගෙදරට පැමිණ සිටි මීට කලින් කවදාවත් නුදුටු එක්තරා මැදිවියේ කාන්තාවක් මගේ අක්කා ළඟට ඇවිත් මොනවාදෝ 
දොඩවන්නට පටන් ගත්තා. ඒ එක්කම අක්කාගේ මුහුණේ ලොකු සිනාවකුත් මතු වුණා. අක්කා මොනවාදෝ ඇයට කියන බවක් මට දැනුණා. පසුව මා දිහා බලා සිනහවක් නැඟුවා. ටික වේලාවකට පස්සේ අක්කා මා ළඟට  ඇවිත්, “නංගී ඕන් ඔයා සිහින මවපු දේ හරියන්නයි යන්නේ” යී කීවා.


ඉහිලුම් නැතිව ගිය මා “මොකක්ද අක්කේ” යැයි ආසාවෙන් ඇගෙන් ඇහැව්වා.


“මීට ටික වේලාවකට ඉස්සෙල්ලා මාත් එක්ක කතා කළ නෝනාගේ නම ජී.ඇස්.බී. රාණි පෙරේරා. නංගී දන්නවානේ එයා ලංකාවේ සිටින ඉහළම ගායිකාවක්. මගෙන් ඇහැව්වා. මම කැමැති නැද්ද චිත්‍රපටියක රඟපාන්න කියලා. මම කිව්වා. “මම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගන්න නිසා ඒ යෝජනාවට අකමැතියි. සමහර විට රඟපෑමේ ආසාව තියෙන්නෙ කාන්ති නංගිට. එයා ඇවිත් ඉන්නවා. සමහර විට එයා නම් කැමැති වෙන්න පුළුවන් කියලා.”


“අනේ අක්කේ, එයාට කියන්න මම කැමැතියි කියලා.”
අක්කා මාව ඇදගෙන රාණි මහත්මිය ගාවට එක්ක ගියා.
“අක්කා වගේම නංගිත් ලස්සනයිනේ. වයස කීයද?
“අවුරුදු 16 යි.”


“මම ඔයාව චිත්‍රපට අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්න මහත්තයාට හඳුන්වලා දෙන්නම්.”


ඔය විදිහටයි මට “සුරංගනී” චිත්‍රපටයේ 1955 සුළු චරිතයක් රඟපාන්න ලැබුණේ. මම කොළඹ මියුසියස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයෙන් සමත් වෙලා හිටියේ. චිත්‍රපටයේ රඟපෑ පසු මම නැවත පාසල් ගියා. පාසලේ ළමයි මාව වට කරගෙන “ආ.. සුරංගනී ඇවිත්” කියලා විහිළු කරන්න පටන් ගත්තා. මේ කරුණු නිසා මම පාසලට ආයුබෝවන් කීවා.”


සුරංගනී චිත්‍රපටයේ ඇය රඟපෑවේ එහි ප්‍රධාන චරිතය රඟපෑ එඩී ජූනියර්ට පෙම් බඳින තරුණියක් හැටියටය. ජීවිතයේ කිසි දිනෙක පෙම්වතකු නිසා ඇයට රඟපෑමට අපහසුතාවක් තිබූ බව ඇය කීවාය. දහඅට හැවිරිදි ඇයට වරෙක චිත්‍රපටයේ විරහ ගීතයකුත් ගායනා කරන්න තිබුණා.


 “සේයාව ඇඳුණු රූපේ
 හද ආදරේ මවලා
 පෙම් රූප රාජයා මා
 ඔබ ඇයි ගියේ දමලා
 හද ආදරේ මවලා”


මේ ගීතය පසුබිමින් ගැයුවේ ස්වර්ණ අබේරත්න ගායිකාව. ඉන්පසු කාන්ති “දොස්තර චිත්‍රපටයේ 1956 රඟපෑවේ එඩී ජයමාන්න සමඟය. පංච කල්‍යාණි ලෙස අභිෂේක ලැබූ ඇය ඉන්පසු මුල්වරට රඟපෑවේ “දුප්පතාගේ දුක” චිත්‍රපටයේය. “සූරයා” හා “සූරසේන” යන චිත්‍රපටවල ඇය ලැඩී රණසිංහ, හර්බි සෙනෙවිරත්න හා ඇල්ප්‍රඞ් එදිරිමාන්න යන නළුවන් සමඟ රඟපෑවාය. 1958 තිරගත වූ “වන මෝහිනී” චිත්‍රපටයේ අනුරාගය මුසුවූ වීරත්වය ප්‍රකට කරමින් ජනප්‍රියත්වයේ ඉහළටම නැග්ගාය. ඇයගේ පෙම්වතා ලෙස රඟපෑවේ හර්බි සෙනෙවිරත්නය. කැලේ වෙසෙන කිසිවෙකුට බිය නැති විනෝදකාමී චරිතයක් ඇය මෙහි රඟපෑවේ කෙටි ඇඳුමක් ඇඳගෙනය. මේ දර්ශනවලට විරෝධය පෑ දහස් ගණනන් ඇගේ සිනමා රසිකයෝ ඇයට අප්‍රසාදය පළකොට ලිපි එවූහ.


 “මම රඟපෑවේ කැලේ හැදී වැඩුණු කෙල්ලකගේ චරිතයක්. ඒ ඇඳුම් චිත්‍රපටයේ චරිතයට ගැලපෙන එකක්. අලියකු පිට කැලේ මැදින් යන්න මුලදී මම බය වුණා. පසුව අලියා මා හා මිත්‍ර වුණා. මාව ජනප්‍රියත්වයට පත් කළේ “වන මෝහිනි”.          ” කාන්ති වරක් පවසා සිටියාය.


“වන මෝහිනි” චිත්‍රපටයේ ඇය රඟමින් ගයන ගීතම අවස්ථා කිහිපයක්ම තිබුණි. ඒ ගීත එදා අතිශයින්ම ජනප්‍රිය වුණා. ලතා වල්පොල ගයන “සිහිනේකි බාල කාලේ”, “හෝ එනවයි කිව්වේ නෑ තව ආවේ.”, “ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ” ගීතත්, ලතා හා ධර්මදාස වල්පොල ගයන “දෑතට දෑත තියලා ඔබ”, “පිපෙන කුසුමන්” මේ ජනප්‍රිය ගීතයි.


 කාන්ති ගුණතුංග අවසන් වරට රඟපෑවේ 1960 වසරේ තිරගත වූ “සංදේශය” චිත්‍රපටයේය. ඇය රඟපෑවේ සිංහල කැරලිකාර නායකයකු වූ බණ්ඩාරාළ (ආනන්ද ජයරත්නගේ) බිරිඳ ලෙසය. එහි එන ඇය රඟමින් ගැයූ ගීත ද අතිශයින්ම ජනප්‍රිය වූ අතර ඒ ගීත පසුබිමින් ගැයුවේ ලතා වල්පොලය. “රැජින මමයි අපේ රාජ්ජේ”, “රෑන ගිරා රෑන අඹේ මී බිබී”, “පුන් සඳ එළියයි එදා මඳ සුළඟයි”, “සුදට සුදේ වළාකුලයි” මේ ගීතය. තමා සමඟ රඟපෑ නළුවන් කිහිප දෙනෙකුම කාන්තිට ආදරය කළ මුත් ඇගේ හදවත දිනා ගත්තේ අම්බලන්ගොඩ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තිස්ස අමරසිංහය. වරක් තිස්ස තම ප්‍රේමකතාව මෙසේ විස්තර කොට තිබුණි.


 “කරුණාසේන ජයලත් තමයි මගේ සහෝදරයෙක් වූ රූපා විවාහ කරගෙන ඉන්නෙ. ජයලත් මට කාන්තිව අඳුන්වල දුන්නා. ඒත් අපි හිතුවේ නෑ ඒ හඳුන්වා දීම අලුත් ජීවිතයක, අත්තිවාරම වේවි කියලා. ඒක කොහොම වුණා ද කියලා අපි දෙන්නා දන්නෙ නෑ. කොහොම හරි අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා.”


කාන්ති කියා ඇත්තේ මේ කතාවය.


 “තිස්සට මම ආදරය කළා. තිස්ස මට ආදරය කළා. මට පුළුවන් වුණා තිස්සගේ හදවත තේරුම් ගන්න. 1958 දී අපි ආදරයෙන් බැඳුණා. තිස්ස අපේ ගෙදරට එන ගමන වැඩි වුණා. 1959 දී තිස්ස සමඟ විවාහ වුණා.”


අද තිස්ස ජීවතුන් අතර නැත. කාන්ති තම පුතුන් දෙදෙනා හා දියණිය සමග ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින්නීය. කාන්ති පුංචි තිරයේ ද රඟපෑවාය. සිරියලතා, විශ්ව ගමන ඒ ටෙලිනාට්‍යය.


කාන්ති පංච කල්‍යාණි වූදා සෙසු අංග ලක්ෂණවලට වඩා කැපී පෙනී ඇත්තේ කේශ කල්‍යාණයයිලු. මේ පිළිබඳව ඇය පුවත්පතට වරක් මෙසේ පවසා තිබුණා.


“මගේ අම්මත් (මේබල් ද සිල්වා මාතාව) ලස්සනයි. ඒ වගේම දානපතිනියක්. අම්බලන්ගොඩ පොල්වත්තේ අග්‍රාරාමයට ගියාම පන්සලේ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්ගේ පොත් රාක්කයේ දූවිලි පිහදාන්න පුංචි මුස්නක් නැති බව දැක්කා. නායක හාමුදුරුවන්ට අගනා පුස්තකාලයක් තිබුණා. ඒ වගේම උන්වහන්සේ පොතපත ලියන මහා පඬිවරයෙක්. මේ සියල්ල ගැන හිතලා තමාගේ දිග කෙස්වැටිය කපා කෙස්වලින් කුඩා මුස්නක් හදලා පුස්තකාලයේ පොත් පිහදාන්න පූජා කරලා තියෙනවා. අපේ අක්කත් මමත් කෙස්වැටියට සාත්තු කරනවා දැකලා අම්මා දවසක් පෙන්නුවා පිළිකුල් භාවකරනකොට පෙන්වන දිනෙන් දින කුණු වී ඕජස් ගලන පින්තූර තියෙන පොතක්.”


ඒ 1956 ලංකාදීප ජයන්ති පංච කල්‍යාණියගේ වතගොතයි. 


මේ තරගයෙන් තෙවැනි තැන හිමිකර ගත් මාතලේ සුජාතා පරමනාදන් (චන්ද්‍රදාස) මහත්මිය මාතලේ හුලංගම වලව්වේ උපන්නේ 1937 නොවැම්බර් 13  වැනිදාය. සැඩසුළං, දෙළොවක් අතර, රන් සළු, පුංචි ඔබ, යුවතිපති, අන්තිම රැය ආදී චිත්‍රපටවල රඟපෑ ඇය අවසන් වරට රඟපෑ ටෙලිනාට්‍යය “සිරියලතා” ය.

ඒ.ඩී. රන්ජිත් කුමාර