වසර 62කට පසු මතුවන කෙනඩි ඝාතන අවතාර
සමහර මිනිසුන් මළත් නොමළා සේය. ඹවුහු වරින් වර එලොව සිට මෙලොව එති. හිටි ගමන් ජන සමාජය කළඹවන කුණාටු නිර්මාණය කරති. යළි නිගඩ වෙති. කලකදී නැවතත් මතුවෙති. අමෙරිකාවේ 35 වැනි ජනාධිපති ජෝන් එෆ් කෙනඩිද එවැන්නෙකි. ඔහු ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නගරයේදී ඝාතනය කෙරුණේ 1963 වසරේ නොවැම්බර් 21 වෙනිදායි. එහෙත් අදටත් ජෝන් එෆ් කෙනඩි නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්වන මාතෘකාවකි.
ඉකුත් සතියේ කෙනඩි ඝාතනය ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ ඊට අදාළව පරික්ෂණ පවත්වා සකසා තිබූ රහසිගත ලිපි ලේඛන අවසන් තොගය ඒවායේ රහස්‍ය භාවය ඉවත් කොට ජනගත කිරිමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය පියවර ගැනිමත් සමගයි. වසර 52කට පෙර මරා දැමුණු අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ ඝාතනය ගැන පරික්ෂණ වාර්තා නිකුත් වීම අන්තර්ජාතික වශයෙන් අප රටට දැනෙන, බලපෑමක් ඇතිවන හෝ යම් වෙනසක් ඇතිවන දෙයක් විය නොහැක. පිළිගත හැකි සරළ තර්කය එයයි. එහෙත් විශේෂයෙන් සදහන් කළ යුතු දෙයක් ඇත. ගෝලීය බල කේන්ද්‍රය එනම් ලෝකයේ අංක එකේ බලවතා ලෙස සලකනු ලබන අමෙරිකා එක්සත් ජනපදයේ මෙහෙයුම් මධ්‍යස්ථානය වන වොෂිංටනය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට කිලෝමිටර 14380ක් ඈතිනි.එහෙත් පුදුමයකට මෙන් වොෂිටනයේ සිදුවන, එහි ගනු ලබන තීරණ හා එහි පාලන තන්ත්රයේ ක්‍රියාකාරකම් විවිධ ස්වරූපයෙන් අප රටේ ජන ජීවිතවලටද විවිධාකාරයෙන් බලපාන්නේ හරියට බූවල්ලාගේ දිගු අඩුවක කෙළවරට හසුවු පරිද්දෙනි. විශේෂයෙන් 2025 ජනවාරි 20 වැනිදායින් පසු බලයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතා කෙටි කාලයක් තුළ ගනු ලැබූ තීරණ අපට විවිධාකාර බලපෑම් එල්ල කරයි. ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනම් නීතියෙන් එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හයදහසකට පමන බලපායි. අමෙරිකානු GSP මේ වසරේ එනම් දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදෙස් ගැනුම්කරු අමෙරිකාවයි. වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ආදායමක් අමෙරිකනු වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාවට හිමිවේ. ට්‍රම්ප්ගේ සියලුම රටවල් සදහා වන තිරුගාස්තු ක්‍රියාත්මක වන්නේ එය ශ්‍රීලංකාවට අවාසියකි. ට්‍රම්ප් අමෙරිකානු අධ්‍යාපන ආධාර කපා හරිමින් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කර තිබේ. ඒ හරහා ශ්‍රී ලාංකික සිසුනට අමෙරිකානු සරසවි ශිෂ්‍යත්ව ලබාගැනීමට ඇති ඉඩප්රස්ථා අහිමි වීමේ අවදානමක් පහළ වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අමෙරිකානු දායකත්වය අත්හිටුවා ඇත. එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය සදහා එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය තුළින් හිමිවන ආධාර සීමා කිරිමට හේතුවක් වනු ඇත. USAID ආයතනය ට්‍රම්ප් විසින් අකර්මණ්‍ය කරනු ලැබීය. මෙරට USAID ක්‍රියාකාරකම් පිළිබදව මතභේදාත්මක කතිකාවතක් පැවතුණද එක්සත් ජාතීන්ගේ ආයතන හරහා මෙරට විවිධ සංවර්ධන කටයුතු හා ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති සඳහා ලැබුණු මූල්‍ය ප්‍රතිපාදන අහිමි වීම නිසා ඒවා මේ වනවිට අකර්මණ්‍ය වී තිබේ. මේ වොෂිංටනය කොළඹට බලපාන ආකාරය ගැන උදාහරණ කිහිපයකි. එහෙත් ඉහතින් සදහන් කරනු ලැබුවේ රාජ්‍ය තීඋන්දු තිරණවල බලපෑම පිළිබදවයි. වසර 50කට පෙර නිකුත් වූ වාර්තාවක් අප රටට එල්ල කරන බලපෑම කුමක්ද යන ප්‍රශ්නයට දිය හැකි උත්තරය නම් ඉතිහාසයේ හා කාලයේ වැලිතලාවෙන් යටවී එහෙත් අළු යට ගිනි පුපුරු මෙන් අදටත් බලපෑ හැකි කරුණක් මේ වාර්තාවෙන් හෙළි වීමයි. දැනටමත් මේ රටේ මාධ්‍ය සදහන් කොට ඇති පරිදි කෙනඩි ඝාතන ලිපිගොනු වල කොළඹ නගරය අමෙරිකානු සී අයි ඒ මෙහෙයුම් පොළක් ලෙස සඳහන් වී තිබීමයි. කාලාන්තරයක් තිස්සේ මෙරට කේන්ද්‍ර කරගත් විදෙස් බුද්ධි මෙහෙයුම් ගැන විවිධ විමසුම් හා කතා බහ ඇති වුවද නිල වශයෙන් කොළඹ සී අයි ඒ මෙහෙයුම් අංශයක් වූ බවට අමෙරිකානු රාජ්‍ය ලේඛණයකින් තහවුරු වූ මුල් වතාව මෙයයි. කෙනඩි ඝාතන වාර්තා අතරට සී අයි ඒ ඔත්තු සේවය ඈඳුණේ කෙසේද යන්න සලකා බලනු වටී. ඊට ප්‍රධාන හේතුව නම් සී අයි ඒ ඔත්තුසේවයද කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් සැක සහිත බවට රාවයක් අමෙරිකානු ජනසමාජය තුළද පැවතීම හා කෙනඩි ඝාතන පරීක්ෂණ වලදී ඒ ගැන අවධානයක් යොමු කර තිබීමයි.
කෙනඩි භූමිකාව
කවුද මේ ජෝන් එෆ් කෙනඩි? දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එනම් 1945 වසරේ සිට මේ දක්වා අමෙරිකාව පාලනය කළ ජනපතිවරුන් අතරින් වඩාත්ම ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි ජනාධිපතිවරයා ජෝන් එෆ් කෙනඩිය. ඔහු අමෙරිකාවේ ඉහළ පැලැන්තියේ ඉතා ප්‍රකට මෙන්ම බලවත් දේශපාලනික-ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෙකි. 1917 උපන් ඔහු නියෝජනය කළේ අමෙරිකානු දේශපාලනයේ කෙනඩි පරපුරයි. හාවඩ් උපාධිධරයෙකු වු ඔහු දෙවැනි ලෝක යුද සමයේ අමෙරිකානු නාවික හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ අතර එහිදි සටනකින් මුහුදු බත් වූ තම වේග ප්‍රහාරක නාවික යාත්‍රාවේ සෙබළුන් බේරාගැනීමට තම බරපතල තුවාලද නොකතා පියවර ගැනීම නිසා නාවික හා මරීන් බලකා වීර පදක්කමෙන් පිදුම් ලැබූවෙකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිය පියාගේ ඉල්ලීම මත හර්ස්ට් පුවත්පතට එක්වෙමින් මාධ්‍ය කලාවටද පිවිසි අයෙකි. ඔහු තම ප්‍රකාශන වෙනුවෙන් 1957 වසරේ “ පුලිට්සර්“ සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. ඔහු බොස්ටන් නාගරිකය නියෝජනය කරමින් 1947දී අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් කොංග්‍රසයට පිවිසි අතර 1953 වසරේ සිට ඔහු මැසචුසෙට් ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් මණ්ඩලයටද පිවිසියේය. ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඔහු 1960 අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඉලෙක්ටෝරල් ඡන්ද 303ක් ලබා රිපබ්ලිකන් පක්ෂ ප්‍රතිවාදියා වූ රිචඩ් නික්සන් අභිබවා විශිෂ්ට ජයක් ලබා අමෙරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා ලෙස තේරි පත්විය. බලයට පත්වූ දා සිට මිය යන තෙක්ම ඔහු ඉතා ඉහල ජනප්‍රියත්ව දර්ශක අගයකට හිමිකම් කියු අතර අමෙරිකානු ජනතාවගෙන් 70% ඔහුට සහය දැක්වූ බව ජනමත විමසුම් පෙන්වා දෙයි. කෙනඩි ප්‍රසිද්ධ වූයේ ජනතා හිතවාදී ජනාධිපතිවරයෙකු ලෙසයි. ඔහු අමෙරිකානුවන්ගේ අයිතිවාසිකම් හා සමානාත්මතාව උදෙසා කැපවුණු නායකයෙකු ලෙස ප්රකටය. නිරවි යුද්ධය ඉතා උග්‍රව පැවති 1960 දශකයේ මුල බලයට පත් ඔහුට සෝවියට් දේශය හා අමෙරිකාවේ එළිපත්තේ විප්ලවයකින් බිහිවු ළදරු සමාජවාදි රාජ්‍යය වන කියුබාව දැඩි අභියෝග බවට පත්ව තිබිණ. එසේ වුවද න්‍යෂ්ටික අවි අවදානම පහ කිරීමට උත්සුක වූ ඔහු න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එකිනෙකා දැනුවත් කරගැනීම සඳහා අමෙරිකාව හා සෝවියටි දේශය අතර ඍජු දුරකථන සබදතාවක් හා සංවාදයක් සඳහා මුලපිරීය. අමෙරිකානු අභ්‍යාවකාශ ගවේෂණ වලට කෙනඩිගේ නායකත්වයෙන් විශාල දායකත්වයක් හිමිවිය. අභ්‍යවකාශයට ගිය ප්‍රථම අමෙරිකානුවා බවට ඇලන් ෂෙපර්ඩ් 1961 වසරේ පත්වන්නේ කෙනඩි පාලන කාලයේදීය. එමෙන්ම 1960 දශකය අවසන් වනවිට අමෙරිකාව හඳට මිනිසෙකු යැවිය යුතු බවට ඉලක්කය ලබා දුන් ජනාධිපතිවරයා ජෝන් එෆ් කෙනඩිය. එම ඉලක්කය කෙනඩිගේ මරණයෙන් වසර 6කට පසු එනම් 1969 වසරේදි සපුරා ගැනුණේ නීල් ආම්ස්ට්‍රෝං සද මත පා තැබීමත් සමගයි. මේ නිසා අමෙරිකානුවන්ට කෙනඩි ඉතා ජනප්‍රිය මෙන්ම වීර චරිතයක් බඳු ජනපතිවරයෙක් විය.
කෙනඩිගේ අඳුරු හඬ
අමෙරිකානු ජනතාව ඉදිරියේ කෙනඩි පරමාදර්ශි චරිතයකි. ඔහු විවාහ වූයේ අමෙරිකාවේ ඉතා ප්‍රකට කාන්තා චරිතයක් බවට පත්වු ජැකොලයින් සමගය. ඇයද ධනවත් තෙල් ව්‍යාපාරිකයෙකුගේ දියණියකි. මේ යුවල හා ඔවුන්ගේ දරුවන් ජනතාව ඉදිරියේ පවුල් සංකේතයේ මුදුන් මල්කඩක් ලෙස පිළිගනු ලැබීය. එහෙත් එම විවාහය හුදෙක් මහජන ආකර්ෂණීය අංගයක් පමණක් වූ බවත් මතුපිටට නොපැමිණි කෙනඩිගේ රහස් ජීවිතයක් පැවති බවත් අමෙරිකානු මාධ්‍ය හා සමාජයීය වාර්තා පෙන්වා දෙයි. ඔහුට පැවති ප්‍රධාන චෝදනාව වන්නේ රහසිගත කාන්තා ඇසුරයි. ඒ අතරින් වඩාත්ම සංවාදයට ලක්වු කරුණ වන්නේ එවකට සිටි සුරුපී හා සරාගීතම නිළිය වූ මැරලින් මොන්රෝ සහ කෙනඩි අතර තිබූ බව කියන සබැඳියාවයි. කෙනඩි ඝාතනය වීමට වසරකට පෙර එනම් 1962 අගෝස්තු4 වැනිදා මැරලින් මොන්රෝ කිසියම් පෙති වර්ගයක් පානය කොට සිය දිවි හානිකරගත්තාය. එහෙත් එය සියදිවි හානිකරගැනීමක් නොව ඉතා හොඳින් සැලසුම්ගත ඝාතනයක් බවට ඔප්පු නොකළ චෝදනාමය මතවාදයක් (conspiracy theory) මේ දක්වා පවතී. එම ඝාතනය කෙනඩි පාර්ශ්වයෙන් සිදුවූවක් බවට අපවාදයක් පවතින අතර එයද කිසිදා සනාථ නොකළ කරුණකි.
කෙනඩි ඝාතනය පිළිබද සැක හා මතිමතාන්තර
1963 නොවැම්බර් 21 වෙනිදා ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා සහ කලයින් ආර්යාව විවෘත කැඩිලැක් රථයකින් ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවර රාජ්‍ය චාරිකාවක යෙදී සිටියදී වෙඩි ප්‍රහාරයකට ඉලක්ක විය. ඔහු සිය බිරිදගේ උකුල මතදී අවසන් හුස්ම හෙළීය.
ඝාතනයේ පළමු චුදිත ලී හාවි ඔස්වල්ඩ් කෙනඩි ඝාතකයා බව රජය විසින් පත්කරන ලද වොරන් කොමිසම හා රාජ්‍ය ආරක්ෂක අංශ සිදුකළ පරික්ෂණවලදී තහවුරු කර ඇත. ඒ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ කියුබාවට හා සෝවියට් දේශයටයි. සමාජවාදි රාජ්‍යයන් විසින් හා විශේෂයෙන්ම සෝවියට් දේශයේ කේ.ජී.බී ඔත්තු සේවය ඔහු මෙහෙය වූ බවට මුලින් චෝදනා එල්ල විය. එහෙත් පසුව හෙළිවූ කේ ජි බී වාර්තා අනුව ලී හාවි ඔත්තුකරුවෙකු බවක් තහවුරුකරගත නොහැකි බව පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම සෝවියට් දේශයේ සිටි කෙටි කාලය තුළදි ලබා ගත් අත්දැකීම් අනුව ලී හාවි හොඳ ඉලක්ක වෙඩික්කරුවකු නොවන බවටද කේජීබී තක්සේරුවක් පවතින බව හෙළිවි ඇත. කෙසේ වෙතත් අදටත් අමෙරිකානුවන්ගෙන් 60%ක් පමණ වොරන් කොමිසම් වාර්තාව හෝ ලී හාවි ඔස්වල්ඩ් කෙනඩි ඝාතකයා ලෙස පිළිගන්නේ නැත.
අනෙක් අතට කියුබාවට එල්ල වන චෝදනා එවකට නායක කස්ත්‍රෝ විසින් ප්‍රතික්ෂේප කර තිබිණ. කස්ත්‍රෝ පවසා ඇත්තේ එම යුගයේ කියුබාවට කිසිසේත් අමෙරිකාව සමග යුද්ධයකට පැටලීමට අවශ්‍ය නොවු බවත්, සී අයි ඒ ඔත්තුසේවය තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කිහිපයක් දියත් කළද, කෙනඩී ඝාතනය කොට යුද උණුසුමක් නිර්මාණය කර ගැනීමට කියුබාවට අවශ්‍යතාවක් නොපැවති බවයි.
අමෙරිකාවේ ජිවත් වූ කස්ත්‍රෝ විරෝධි කියුබානුවන් මේ ඝාතනයට සම්බන්ධ බවටද රාවයක් පවතී. ඒ 1961 වසරේ කියුබාවේ ළදරු කස්ත්‍රෝ පාලනය පෙරළා දැමීම සඳහා කියුබානුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් සී අයි ඒ ඔත්තුසේවය කියුබාවේ දේශයේ කුමන්ත්‍රණකාරි යුද මෙහෙයුමක් දියත් කර තිබිණ. එය අසාර්ථක විය. ඒ එවකට ජනාධිපති කෙනඩිගෙන් නිසි හමුදාමය සහයක් නොලැඹුණු බවට පැවති විශ්වාසය මත බවට චෝදනාවක් පැවතිණ. එම කාසියේම අනෙක් පස ලෙස අමෙරිකාවේ සී අයි ඒ ඔත්තුසේවය කෙනඩි ඝාතනය කළ බවට රාවයක් මතුවිය. සී අයි ඒ රහසිගත මෙහෙයුම් වලට කෙනඩිගෙන් නිසි දේශපාලන නායකත්වය නොලැබෙන බවට පැවති විශ්වාසය මත මේ ඝාතනය සිදුකෙරුණු බවට පිළිගැනීමක් විය. වොරන් කොමිසම ඇතුළු පරික්ෂණ සී අයි ඒ ඔත්තුසේවයේ ක්‍රියාකාරකම් දෙසට විශේෂයෙන් සලකා බලා තිබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අනෙක් චෝදනාව වූයේ එවකට උප ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් ජනාධිපති පදවිය ලබාගැනිම සදහා කෙනඩි ඝාතනය කිරිමට පියවර ගත් බවයි. කෙනඩිගේ අභාවයෙන් පසු ජනාධිපති පදවියට පත්වූයේ ජොන්සන්ය. ස්ටෝන් රොජර්ස් නම් පුද්ගලයා ලින්ඩන් බී ජොන්සන්ට එම චෝදනාව එල්ල වන ආකාරය පැහැදිලි කරමින් මෑත භාගයේදී ග්රන්ථයක් පවා එළිදක්වා තිබිණ. සැබැවින්ම ගත් කළ රොජර්ස් පමණක් නොව කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් විවිධාකාරයෙන් සදහන් කරමින් අමෙරිකාවේ ග්රන්ථ 1000-2000 අතර සංඛ්‍යාවක් එළිදක්වා ඇති බව වාර්තා පෙන්වා දෙයි. ඉන් තහවුරු වන්නේ මේ සිද්ධිය දශක පහක් පුරාවට අමෙරිකානු ජනසමාජය තුල වරින් වර හොල්මන් කරන බවයි.
ලයිස්තුවේ කොළඹ දක්වා ඇති ආකාරය
කෙනඩි ඝාතන පරික්ෂණ ලිපි ගොණු
1992 සම්මත කෙරුණු නිති ප්‍රකාරව වසර 25ක් තුළ රහස් ලිපිගොනු ප්‍රකාශයට පත් කළ යුතු විය. අනුව ට්‍රම්ප් පළමු පාලන සමයේදී ප්‍රථම ලිපිගොනු තොගය ප්‍රකාශයට පත් කෙරිණ. දෙවැනුව 2023 බයිඩන් සමයේදීද නැවත වතාවක් ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය අඟහරුවාදාද එළිදක්වනු ලැබීය. ඒ අනුව අවසන් වතාවට දෙවරකදී පිටු 80000ක් හා පිටු 64000ක් වශයෙන් ලිපිගොනු එළි දක්වා ඇත. අමෙරිකානු ජාතික ලේඛණාගාර වෙබ් අඩවිය ඔස්සේ මේ ලිපිගොණු පරිශීලනය කළ හැක. මීට අමතරව ජෝන් එෆ් කෙනඩිගේ සොයුරු රොබට් කෙනඩි හා මාටින් ලූතර් කිං(කනිෂ්ඨ) යන ඝාතන පිළිබද ලිපිගොනුද එළිදැක්වීමට ට්‍රම්ප් පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් පොදුවේ සලකා බලන කළ මේ ලිපි ගොණු එළිදැක්වීම තුළින් අමෙරිකානු රජය කෙනඩි ඝාතනය ගැන ලබාදී තිබු නිල ප්‍රකාශයට වඩා වෙනත් යමක් තහවුරු කිරිමක් සිදුවී නැත. අලුතෙන් නිකුත් කෙරුණු ලිපිගොනු පරික්ෂාව දැන් සිදුවන අතර එමගින්ද අමුතු හෙළිදරව්වක් සිදු නොවනු ඇති බව පිළිගැනීමයි.
කොළඹ සී අයී ඒ මෙහෙයුම්
අලුත් ලිපිගොනු අනුව කෙනඩි ඝාතන පරික්ෂණයේ අංගයක් ලෙස අමෙරිකානු බුද්ධි අංශ මෙහෙයුම් ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත්ව තිබේ. මේ තොරතුරු මෙතෙක් හෙළි කිරිම වළක්වා ලූයේ අමෙරිකානු ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි අභියෝග පදනම් කරගත් තර්ක අනුවයි. එහෙත් නව ලිපිගොනු අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව හා ඒ අවට කලාපය 1960 දශකය තරම් ඈත යුගයක අමෙරිකානු සී අයී ඒ ඔත්තු සේවයේ ප්‍රධාන මෙහෙයුම් භූමියක් ලෙස පැවති බවයි. කෙනඩි ඝාතන පරික්ෂණ ලිපිගොනුවක ඇතුළත්ව තිබූ සී අයි එ මෙහෙයුම් මධ්‍යස්ථාන ලැයිස්තුවක් රුසියාවේ ආර් ටී මාධ්‍ය ආයතනය මගින් X සටහනක් මගින් එළි දක්වා ඇත. එහි පැහැදිළිවම කොළඹ නගරය ඇතුළත් බව වාර්තා වේ. ඉන්දියාවේ දිල්ලි හා කොල්කොතා නගර වලද රහසිගත සී අයි ඒ මෙහෙයුම් මධ්‍යස්ථාන පැවති බව එහි දැක්වේ. පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරය දකුණු ආසියාවේ අනෙක් මෙහෙයුම් පොළ බව ලැයිස්තුව අනුව පෙනී ගොස් තිබේ. සාමාන්‍යයෙන් බුද්ධි සේවා මෙවැනි රහසිගත මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ඔත්තුකරුවන් මෙහෙයවීම, රහසිගත පණිවුඩ නිරික්ෂණය, රහසිගත ප්‍රහාර මෙහෙයවීම, අල්ලාගන්නා සතුරු පුද්ගලයන් රදවා තබාගැනීම හා ඇතැම්විට වධ බන්ධන පමුණුවා තොරතුරු ලබාගැනීම වැනි ක්‍රියා සඳහායි. මේ ක්‍රියා වලින් සියල්ලම හෝ කිහිපයක් හෝ මෙවැනි බුද්ධි අංශ මධ්‍යස්ථාන හරහා සිදුවෙයි. මේ ලිපිගොනු ලැයිස්තුව අනුව පෙනි යන්නේ තාක්ෂණය අද තරම් නොදියුණු 1960 දශකයේ සී අයි ඒ බුද්ධි මෙහෙයුම් ජාලය පිළිබදවයි. එදා එසේ නම් අද?
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ