පසුගිය විසි දෙවෙනිදා රට ඓතිහාසික සමාජ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටින මොහොතක, හදවත නතර කරවනසුලු පුවතක් ලෙස අප වෙත ආවේ ඩබ්ලිව්. ජයසිරි සිය දිවිසැරිය නිමා කරපු බව. ඒක දරාගත නොහැකි තරමේ ප්‍රකම්පනයක් වූණේම ඩබ්ලිව්. ජයසිරිත් අපත් අතර තිබූ මිනිස් බැම්මේ හයිය හත්තියේ පමණ ටිකක් දරුණු එකක් නිසා. ඒ හින්දම ජයසිරි ගැන ලියවෙන මේ සටහනත් ටිකක් හෘදයාංගම පිපුරුමක සුන්බුන් ඇහිඳීමක් වෙන්න පුළුවන්. ඒක ඇතුළෙ පුද්ගලිකත්වය පෙරට පැනීම නොවැළැක්විය හැක්කක්.
ජයසිරි එයා ලියපු "මතක සමග ලට්ට ලොට්ට" පොතේ පෙරවදනෙ මෙන්න මෙහෙම කියනවා.
" ගලේ කොටන අකුරු වගේ නෙවෙයි හිතේ කොටන අකුරු. වයස්ගත වෙනකොට මැකෙනවා. ඒ නිසා මගේ හිතේ කෙටිච්ච අකුරු මතක විදියට මෙතන එකතුකරලා තියෙනවා. පිළිවෙළක් නැති වුණත් කියවන්න අවුලක් නැතිවෙයි. මතකයට අමතරව මුහුණු පොතේ ලියපු ලට්ට ලොට්ටත් තියෙනවා. ලට්ට ලොට්ට කියන්නෙ කසළම නෙවෙයි. ඕනැම වෙලාවක වැඩක් ගන්න පැත්තකට කරන ඒවා".
ජයසිරි එයාගෙ ලට්ට ලොට්ට පොත ගැන කියන මේ කතාව ඒ ලෙසම මම මේ ජයසිරි ගැන ලියන පුංචි සටහනටත් අදාළයි. මේකත් ජයසිරි ගැන මගේ මතක ලට්ට ලොට්ට ඩිංගක්. මේකෙ තියෙන්නෙත් ජයසිරි ගැන මගේ හිතේ කෙටුණු මතක සහ විටින් විට මුහුණු පොතේ ජයසිරි ගැන මම ලියපුව. ඉතිං මේකත් ජයසිරිගෙ ලට්ට ලොට්ට වගේම තමයි.
ජයසිරිගෙ කලා කෙරුම් ගැන ඉතිං අටුවා ටීකා ටිප්පනි ලියන්න මේ වෙලාවෙ හදිසියක් වෙන්න ඕනැ නෑ. මොකද කලාකරුවෙක් විදියට ජයසිරි කරපු වැඩ ගැන බෙහෝ දෙනෙක් දන්නවා. ජයසිරි එක වැඩක් කරපු මිනිහෙකුත් නෙවෙයි. එකම වැඩේ වුණත් එකම තාලෙට කරපු මිනිහෙකුත් නෙවෙයි. ජයසිරි කරපු කියපු වැඩ එක්ක තව ටිකක් ඉඳල මොනව හරි කළා නම් කියලා නොහිතෙන්නෙ කාටද. හැබැයි කලාකරුවෙක් මැරෙන්න ඕනැ, අනේ තව ටිකක් හිටිය නම් කියල තමන්ගෙ රසිකයන්ට කියවෙන මොහොතකම තමයි. වයස හතළිස් ගණනකින් මැරුණු මහගම සේකරත් වයස හතළිස් ගණනකින් මැරුණු විජය කුමාරතුංගත් වගේ අය ගැන අපිට එහෙම හිතිල නැද්ද කියල හිතල බලන්නකො. මේ දෙවිදියක උදාහරණ දෙකක් විතරයි.
ජයසිරිගෙ කියුම් කෙරුම් ගැන මගේ තිබුණු ආහ්ලාදය මැද්දෙන් මිනිහගෙ යම් යම් රඟපෑම් ගැන මට තිබුණු විවේචනය මම චිත්‍රපටි ගැන ලියන්න පටන්ගත්ත මුල් කාලෙ ඉඳලම ප්‍රසිද්ධියෙ කිව්වා. මම ඉතිං හිච්චි එකෙක් ඒ දවස්වල එහෙම කිව්වම ජයසිරි අයියට චුට්ටක් ඒකෙන් හර්ට් වෙච්ච වගක් මට දැනගන්න ලැබුණ. හැබැයි හොඳ දේකට හොඳයි කියන අප්සෙට් දේ අප්සට් කියන එක මම නතර කළේ නෑ. ඔය අතරෙ බහුල වශයෙන් සෝෂල් මීඩියා එක ඇතුළෙ මම ලියන්න ගත්තම, ජයසිරි අයියත් එක මොහොතක මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙනවා. දවසක් මම ලියපු කවි පංතියකට ජයසිරි මෙහෙම කමෙන්ට් එකක් දානවා.
"ඉස්සර මට උඹව පේන්න බෑ. ඒත් දැන් මේ ලියන ඒවට ආසයි.."
මගේ ෆේස්බුක් කවි ගැන බොහෝ ප්‍රතිචාර අතරෙ ජයසිරිගෙ මේ කමෙන්ට් එක මට ඉතා වැදගත් එකක් වුණා. මොකද, ඒ කවිවලිනුත් මම සමහර දේවල්වලට දෑත බදලා පහර දුන්නා. හැබැයි විචාරයක් ලියලා කියන දේ බාරගන්නවට වඩා වෙනස් ආතල් එකකින් ඒ කවි මිනිස්සු බාරගත්තා. ඒ කවිවලින් ප්‍රහාරයට ලක්වුණු අයත් ඒකෙන් ආතල් එකක් ගත්තා.
මම හිතන්නෙ ජයසිරි ටිකක් හිත රිද්දගත්තු මගේ ලිවිල්ල තමයි, රෝයි ද සිල්වගෙ "පෙම් කැකුළ" චිත්‍රපටිය ගැන මම ලියපු එක. එකේ ජයසිරි ගැන සනත් ගුණතිලක ගැන එහෙම ලියවුණා. රඟපාන්න පුළුවන්කම තියෙද්දී මේ වාහෙල මොකද්ද මේ නටන නාඩගම වගේ එකක් මම කිව්ව ඒකෙදී. හැබැයි ජයසිරි වගේම සනත් ගුණතිලකත් මම මේ කරපු විවේචනය පස්සෙ පස්සෙ සාධනීයව තේරුම් ගත්ත කියල ප්‍රසිද්ධියෙම කීප තැනක කියලා තියෙනවා.
අන්න එහෙම හිතවත්කම ගොඩනැගුණු ජයසිරි අයිය එක්ක දරුණු විදියට අල්ලාප සල්ලාපයේ යෙදිල පරණ අතීත මතක හාරාඅවුස්සන්න කීප සැරයක්ම මට අවස්ථාව ලැබුණා. එතකොට තමයි මට තේරුම් ගියේ ජයසිරි කියන්නෙ කොහොම බඩුවක් ද කියලා. වතාවක් මම ජයසිරි ගැන ෆේස්බුක් එකේ මෙන්න මෙහෙම කවි ටිකක් ලිව්වා.
ඇත රස්තියාදුවකට මල්ලක කරුණු
මතකය අවුස්සමු උඹෙ නොමැරුණු මැරුණු
පටුනක් නොමැති පොත දිගහැර රස පිරුණු
ගමනක් යන්න පුළුවන් දෙන්නට දරුණු
කුප්පම කටකි කයියට හොර නැති රුසියා
ඇහුවම කතා වෙරි ගැහුවම වගෙ කසියා
පතිරාජගේ රජදහනෙහි තද වැසියා
පොන්මනි හදනකොට ඔහු ළඟ හිටි ඇසියා
ඉතිරී යන රැයක මධු මී බඳුන් පුරා
කාමරයකට හිරවී එය හිතින් දරා
එක පාරටම ඇවිදින් ලෝකෙටත් හොරා
මතක ද හිනාවුණු අන්දම උදුම්බරා
ගැන්සිය ගැහුණු විට සුර ලොව සැප දුටුවේ
නොම්මර එකේ සෙට් එක පිස්සුව නැටුවේ
රසවත් පැරා එක උඹෙ ජීවිත පිටුවේ
ආතල් ඩිංග කොහොමද බං තලකොටුවේ
දරාගෙන සමව පැමිනුණු සුඛ දුක්ඛ
උරාගත් කලාවට ගහමින් සක්ක
සිරාවටම මිනිහට දීගෙන බොක්ක
"මරා" ගෙන මැරුණු හැටි සුගතුත් එක්ක
මතකෙට ගිනි තියමු ඇවිළෙයි රස හරිය
පොඩියට දෙකක් දාගෙන ඇරගමු හිරිය
අඩියක් දෙකක් ගිය තැන බ්‍රේකුත් බැරිය
ජයසිරි එක්ක චැට් එක අම්මට සිරිය
ජයසිරි කියන්නෙ හරිම උත්සවාකාර මිනිහෙක්. එයාගෙ විලාසයම උළෙලක් වගේ. හරිම විචිත්‍රවත්. ජයසිරි එක්ක සමීප වෙන්න වගේම සමීප වුණාම ඒකෙන් ගැලවෙන්නත් ලේසි නෑ.
ඩබ්ලිව්. ජයසිරි මියයන්න දවස් පනහකට විතර උඩදී ජයසිරි ගැන සුදර්ශියේ තිබුණා ඇගැයීම් උළෙලක්. ඒක ජයසිරි වෙනුවෙන් පවත්වපු ඒ පන්නයේ එකම උපහාරය ද මන්දා. ඒ උත්සවේ ප්‍රමුඛ අදහස් දැක්වීම කරපු සමන් අතාවුදහෙට්ටි ඒ කතාව ඉවර කෙරුවෙ ජයසිරි අයිය ගැන මම ලියපු මෙන්න මේ කවියෙන්
මිනිහගෙ ලයිෆ් එක බ්ලැක් ඇන්ඩ් වයිට්ය
ටෝටලි ගත්තොතින් එය හෙණ ලයිට්ය
කෙනෙකුට රෝන් තව කෙනෙකුට රයිට්ය
ජයසිරි ළඟදී අපි සේරම බයිට්ය
ඩබ්ලිව්. ජයසිරිත් හරියට මාමයිට් වගේ. කැමති එකා වහ වැටෙනවා. අකමැති එකාට පේන්න බෑ. ඒ තමයි ජයසිරි.
ජයසිරි කියන්නේ නොයෙක් නොයෙක් වර්ගයේ මිනිස් සමූහයක ඇසුරෙ ඉඳපු කෙනෙක්. ඒ ගැන ජයසිරි ලියපු ලට්ට ලොට්ට පොතේ කදිමට විස්තර කරනවා. ජයසිරිගෙ අසිරිමත් ජීවන විලාසය කාට හරි දැනගන්න ඕනෑ නම් කියවන්නම ඕනෑ පොත තමයි ඒක. මිනිහෙකුට ඒ තරම් ජීවන අත්දැකීම් රාශියක් උරුම වෙනව කියන්නේ සීරියස් මනුස්ස ගනුදෙනුවක් ඒව අතුළෙ තිබුණ කියන එකට උදාහරණ.
ජයසිරිගෙ රඟපෑම වගේම තමයි කතා බහත්. මිත්‍ර සමූහය දපනෙ වැටෙන්නෙ මෙන්න මේ කතාකාරයට. ජයසිරිත් අයිතිවුණු ධර්මසේන පතිරාජල ඇතුළු දරුණු මිත්‍ර සමාජයක් අපි දැකල තියෙනවා. ඒක කලා ලෝකෙ තිබුණු සක්‍රීය සහ ඉෆෙක්ටිව්ම ගැන්සිය වෙන්න ඇති. ජයසිරි මියගිය පුවත ඇහුව ගමන් මට හිතුනා මියගිය පතීට ජයසිරිත් එයාලව බලන්න ආපු විත්තිය කියන්න. මේක මගේ ඔළුවෙ හැදුණු මනෝවිකාරයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කවි ටික ජයසිරිගෙ අවසන් කටයුතු සිද්ධ වුණු දවසේ මම ෆේස්බුක් එකේ ලිව්ව. ඒකට සෑහෙන ප්‍රතිචාරත් ආවා. මේ තමයි පතීට ලියපු ඒ කවි ලියුම.
පතීට ලියුමක්....
නොකියා නොහැකි කාරණයක් නිසා ඇතී
හිතුනා ලියන්නට මට මේ ලියුම පතී
මේ ටික කියන්නට ඔබ සම කෙනෙක් නැතී
ගැලවෙයි මලක එක හැඩයෙන් පිපුණු පෙතී
නලියයි ඇවිත් කඳුළක් අප හැමගෙ ඇහේ
මෙය අදහනු බැරුව හදවත තවම ගැහේ
බඩ බැඳගෙන එදා එකටම හිටපු රැහේ
ආවනෙ පතී ඊයේ ජයසිරිත් ඔහේ
ආවේ නියම පදමට හැමවිට ජාඩී
තිතටම සෙට් වුණොත් පමණයි හරි මූඩී
වැටුණෙත් එකම රිද්මෙට දෙන්නගෙ නාඩී
ආපහු උඹේ ළඟ උඹෙ ඉස්සර ඒ.ඩී.
වෙන්නට හිතුනොතින් ඉස්සර වගෙ රස්තා
නොකැඩේවිද ඉතිං ගැන්සියෙ වියවස්තා
වෙන්නට නොයෙක් දේවල් ඇත ඉඩප්‍රස්තා
මුණ ගැහුණොත් එහෙම ජයසිරි හට කොස්තා
ජීවිතය නම් පුදුමයි නොදිගුය කෙටිය
එය මේ සොබාදර්මය කැරකෙන හැටිය
කොයි කාගෙත් කරේ අතදාගෙන හිටිය
කාටත් කලින් ගියෙ ගැන්සියෙ දෙහිපිටිය
දාගෙන ඉඳපු උදවිය ලෙස නිති සාද
යළි වටයකින් එය අරඹනු හැකි වේද
ගම්ලත් තිලක් ජයරත්නල හා වාද
නොපමාවම ඉතිං අල්ලනු ඇති නේද
අමුඩෙයි පුකයි වගෙ හිටි ඉස්සර පෙනිලා
ආ වග සුගත්ටත් දැන් නම් ඇති දැනිලා
නටබුන් අතීතෙක මතකයෙ කටු ඇනිලා
තනියම හඬනව ද දන්නෙත් නෑ සුනිලා
විජයල කලං කොහොම ද මෙය ඉවසන්නේ
කට්ටිය එක පතේ මෙහෙ කාගෙන උන්නේ
වෙන ගැන්සියක් හිටියද තව මේ පන්නේ
ආපහු මැරෙයි ඒ ගැන ඇහුවම තෙන්නේ
ජයසිරි කියන්නෙ ෆැෂන් එකක්. හැම කලාකාරයටම විලාසිතාවක් වෙන්න බෑ. ඒක පුළුවන් වැඩෙන් හැඩෙන් දෙකෙන්ම. ජයසිරි ඒ දෙකෙන්ම විලාසිතාකාරයෙක්. ජයසිරිට අනන්‍ය විලාසිතා ලීලාවක් තමයි නිතර හිස පලඳගෙන ඉඳපු හැට් එක. ජයසිරිගෙ දේහයටත් ඒ විදියටම හැට් එකක් දාල තිබුණ. ඒ වගේම විලාසිතාකාරයෙක් ගැන මංජුල වෙඩිවර්ධන ලියපු කවියකින් මේ සටහන හමාර කරනව. මංජුල මේක ලියන්නෙ සයිමන් නවගත්තේගම ගැන. මේක ඉතා කදිම ගැළපීමක්.
තොප්පියක් ඔබින්නේ හිසකට
හිස්වැසුම් සොයන්නේ කුමකට
ඇස් දෙකක් දකින්නේ කපකට
කල්පයක් කියන්නේ දිනකට
ප්‍රියන්ත කොඩිප්පිලි