අන්තර්ජාල සල්ලි හොරු ජාලයක් අත්අඩංගුවට


අන්තර්ජාල සල්ලි ගැරූ ඉන්දියානු මහමොළකරුවන් සමග නේපාල, පකිස්ථාන, ඇල්ජීරියා, මැලේසියානු ජාතිකයන් සීයයකට ආසන්න පිරිසක් අල්ලයි.

මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාසවල රැඳී සිටිමින් අන්තර්ජාතික වශයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැවැන්ත හෙළිදරව්වක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා සමත් වූයේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මංගල දෙහිදෙණියගේ මෙහෙයවීම පරිදි මෙම ජාවාරම පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවල දී ඉන්දියානු, නේපාල, පකිස්ථාන, ඇල්ජීරියා, මැලේසියා හා ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් මේ වෙනවිට අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයට කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.


නාඳුනන පුද්ගලයෙකු විසින් කාන්තාවකගේ වට්ස්ඇප් ගිණුමට පිවිස ඇය ජාවාරම්කරුවන්ගේ වට්ස් සමූහයට සම්බන්ධ කරගෙන තිබුණි. පසුව වට්ස්ඇප් සමූහය හරහා ඇය සමග මිත්‍ර වී, ටික් ටොක් සමාජ ජාලයේ වීඩියෝ සඳහා ලයික් සහ කමෙන්ට් දැමීමෙන් මුදල් උපයාගත හැකි බව පවසා තිබේ. එම ලයික් සහ කමෙන්ට් වෙනුවෙන් අවස්ථා කීපයක දී එම කාන්තාවට රුපියල් 750 බැගින් ජාවාරම්කරුවන් මුදල් බැර කර තිබේ. එසේ මුදල් බැර කරමින් එම කාන්තාවගේ විශ්වාසය දිනා ගැනීමට ජාවාරම්කරුවන් සමත් වී තිබේ.
පසුව වැඩිදුරටත් මුදල් ඉපයීමට අවශ්‍ය නම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයට එක්ව මුදල් ආයෝජන කරන ලෙස එම වට්ස්ඇප් සමූහය මගින් එම කාන්තාවට දන්වා ඇත. ඒ අනුව කාන්තාව ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයට ඇතුළත් වී මුදල් ආයෝජනය කළද ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී එම සමූහය මගින් පවසා ඇත්තේ එම මුදල් ලබාගැනීමට නම් බැංකු ගිණුමක් වෙත මුදල් බැර කරන ලෙසය. ඒ අනුව එම කාන්තාව ජාවාරම්කරුවන්ගේ උගුලට හසුව අවස්ථා කීපයක දී රුපියල් ලක්ෂ 54 ක මුදලක් බැංකු ගිණුමකට බැර කර තිබුණි. එහෙත් පොරොන්දු වූ පරිදි ලාබ නොගෙවීම හේතුවෙන් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව 
පොලිසිය පවසයි.


එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී ජාවාරම්කරුවන් භාවිත කර තිබූ බැංකු ගිණුම් දෙකක් පිළිබදව අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී  පේරාදෙණිය ප්‍රදේශයේ දී පිය-පුතු යුවළක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වූයේය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව අනාවරණය වී ඇත්තේ තමන් ද එම වංචාවට හසුවී ඇති බවත්, ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම පරිදි බැංකු ගිණුම් දෙකක් ආරම්භ කළ බවත්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලට අනුව අදාළ බැංකු ගිණුම මගින් ලබාදී තිබූ පීට්සා ඇනවුමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ. එම විමර්ශන අනුව, එම පිට්සා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවෙසකින් ලබාදී තිබුණු බව අනාවරණය විය. ඒ අනුව විමර්ශන නිලධාරීන් එම නිවෙස වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 14 ක් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකතන 57 ක්, පරිගණක යන්ත්‍ර 13 ක් සහ 
ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 3 ක් පොලිස් භාරයට ගැනුණි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නවලට අනුව මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක් වටලා පුද්ගලයන් 19 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එහි තිබී ජංගම දුරකතන 52 ක් සහ පරිගණක යන්ත්‍ර 33 ක් පොලිසිය භාරයට ගැනිණි. එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙරට සිටින පුද්ගලයන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් විදේශිකයන් ද මෙම ජාවාරමට හසුකරගෙන මූල්‍ය වංචා සිදුකර ඇති බවය. මෙම ජාවාරම්කරුවන්ගේ ශාඛා ඩුබායි සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ද පවතින බව පොලිසිය අනාවරණය කොටගෙන තිබේ. මෙම ජාවාරම්කරුවන් ශ්‍රී ලාංකිකයන් සයිබර් වහලු‍න් ලෙස යොදාගනිමින් ජාවාරම සිදුකර ඇති බව අනාවරණ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්තර්ජාල ඔස්සේ සිදු කරන මූල්‍ය වංචා පිළිබඳ දිගින් දිගටම සිදුකළ විමර්ශනවල දී, මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩාවේ නියුතු ඉන්දියන් ජාතිකයන් හැට දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයන් කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල ප්‍රදේශවල කුලී පදනම මත රැඳී සිටිමින් Online හරහා මූල්‍ය ජාවාරමේ යෙදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තලංගම හීනැටිකුඹුර ප්‍රදේශයේ නිවසක් වටලා ඉන්දියන් ජාතිකයන් 16 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. 


ඔවුන් සතුව තිබී ලැප්ටොප් 9 ක් සහ ජංගම දුරකතන 59ක් ද අත්අඩංගුවට ගනු ලැබීය. එම ඉන්දියන් ජාතිකයන් සුඛෝපභෝගී නිවාසවල රැඳී සිටිමින් මෙසේ ජාවාරමේ නිරත වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇත. ඉන්දියානුවන් රැඳී සිටි නිවස රුපියල් ලක්ෂ දෙකක මාසික කුලී පදනම් මත ලබාගෙන ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී තවත් ඉන්දියානු ජාතිකයන් තිස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 
අත්අඩංගුවට ගනු ලැබීය.
එම ඉන්දියානු ජාතිකයන් සතුව තිබී ජාවාරමට යොදාගත් පරිගණක හතළිහක් සහ ජංගම දුරකතන තිස් අටක් අපරාධ 
පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලට අනුව මාදිවෙල ප්‍රදේශයේ නිවසක් වටලා තවත් ඉන්දියන් ජාතිකයන් දහතුන් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් සන්තකයේ තිබි ලැප්ටොප් පරිගණක අටක් සහ ජංගම දුරකතන තිස් අටක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
මෙම ඉන්දියන් ජාතිකයන් සියලු‍ දෙනාම එකම ජාලයකට අයත් පුද්ගලයන් බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ එම පිරිස ඉන්දියාවේ තහනම් කරන ලද අන්තර්ජාල සූදු පිටුවක් මෙරට සිට ක්‍රියාත්මක කර ඇති බවය. 
ඒ අනුව එම අන්තර්ජාල සූදු පිටුව හරහා විවිධ ඔට්ටුකරුවන් සමග ඔට්ටු දමා කෝටි ගණනින් ගනුදෙනු සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඉකුත් දින පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව සහ එංගලන්ත තරගයට ද විශාල පිරිසක් කෝටි ගණනින් ඔට්ටු අල්ලා ඇති බව අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
ගයාන් සූරියආරච්චි