අසූ වියට සතුටින්ම එළැඹි සරසවිය එච්.ඩි .ප්‍රේමසිරි


   සොඳුරු පිරුණු මිනිසුන් ජීවිතයේ අපට හමුවේ. . අප ඔහු දකින්නේ එවැනි මිනිසෙකු ලෙසය. සරසවියකට එහා ගිය වටිනාකමක් , අරුතක් සමාජයට සැපයූ ඔහු අපට හමුවෙන්නේ සරසවි පොත් ජාලයේ නිර්මාතෘවරයා ලෙස සහ ව්‍යවසායකයෙකු ලෙසය. තවත් විටෙක ඔහු අප හට හමුවෙන්නේ සිනමා කලාවේ නිර්මාණ වෙනුවෙන් අර්ථපතිත්වය දැරූ චරිතයක් ලෙසය. එලෙසින් ජීවිතයට වඩා විශාල වූ ඒ මිනිසා සැබැවින්ම ලාංකිය සමාජයට විශාල අරුතක් සැපයූ සුවිශාල මිනිසෙකි. නමින් එච්.ඩී. ප්‍රේමසිරි නම් වූ මේ අපූරු මානවයා ස්වකීය ජීවිතයේ අසූ වැනි විය සපුරන්නේ මෙම පොසොන් මාසයේදීය. ඒ අරබයා ඔහු වෙනුවෙන් උත්සවයක් සංවිධානය වී තිබේ. එවැනි මොහොතක ඔහු හා ඇසුර ලබමින් ඔහුගේ ජීවිතයේ සැබෑ ස්වභාවය ගැන දන්නා චරිතයකට ඔහු ගැන අදහස් දැක්වීමට අපි ඇරයුම් කළෙමු. ඒ ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රසන්න විතානගේ සිනමාකරුවාටය.  එච්.ඩී. ප්‍රේමසිරි නම් සොඳුරු-පිරුණු මිනිසා ගැන සිනමාවේදී ප්‍රසන්න විතානගේ අදහස් දැක්වූ අයුරුයි මේ. 


‘‘ප්‍රේමසිරි නමැති මිනිසා ගැන මුලින්ම මා දැනගත්තේ පාසල් සිසුවෙකුව සිටියදීයි. එදවස කොළඔ නගර තාප්ප මත අලවා තිබූ අමුතු පෝස්ටරයක් නෙත ගැටිණි. එය කළු-සුදු පෝස්ටරයකි. කළු-සුදු වූවද ඒ ආකර්ෂණීය පෝස්ටරය නිමවා තිබුණේ අප අතරින් වියෝ වූ රැලෙක්ස් රණසිංහයන් වග පසුව මම දැන ගතිමි. ‘‘බිත්ති හතර’’ නමින් තිරගත වූ චිත්‍රපටය වෙනුවෙන් එය නිමවා තිබිණ. එතෙක් අප ඔහු ගැන අසා තිබුණේ නුගේගොඩ සරසවි අදියුරු ලෙසය. මේ චිත්‍රපටය බැලූ බැල්මට වාණිජ අරමුණක් ඇතිව කළ නිර්මාණයකැයි  වටහාගැනීම මගින් ඉනික්බිතිව මා ඔහු ගැන සෙවුම් බැලුම් කිරීමට පෙලඹීමි. ඔහු ජීවිතයේ මුදල් හඹායන්නෙකුට වඩා ආත්ම තෘප්තිය සොයන්නෙකු යැයි ‘බිත්ති හතර’ නිර්මාණයෙන් මම වටහා ගතිමි. පසු කලෙක ඔහු ගැන දැනගත්තේ රංජිත් කුරුප්පුගේ ‘පවන රළු විය’ චිත්‍රපටය නිසාය. එයින් පසුව ප්‍රේමසිරියන් ටික කලක් යන තෙක් නිර්මාණ කාර්යයෙන් ඈත්වී සිටියේය. නැවතත් මා ඔහු ගැන උනන්දු වූයේ නැසීගිය සුනිල් මිහිඳුකුල සරසවිය පුවත්පතට ලියා තිබූ ලිපියක, ප්‍රසන්න විතානගේ නමැති මාගේ සිනමා ගමන ගැන තමන්ට පැහැදීමක් ඇති වගට ප්‍රේමසිරි මහතා අදහස් දක්වා තිබූ පසුවය.    
‘‘ප්‍රසන්න, ඔයාගේ නිර්මාණ ගැන ඔහු හට තිබෙන්නේ උනන්දුවක්, හැකි නම් ඔහු හමුවෙන්න’’ යැයි මිහිඳුකුල මා අමතා කීවේය. එය මාගේ මනසෙහි සටහන් කරගෙන සිටිය ද ප්‍රේමසිරියන් මට මුණගැසුණේ ‘‘ආකාස කුසුම්’’ චිත්‍රපටය සඳහා සම නිෂ්පාදකවරයෙකු මට අවැසිව සිටි කාලයේදීය. දිනෙක මම ඔහු හමුවීමට ගියෙමි. කිසිදු බාධක, ප්‍රශ්න කිරීමකින් තොරව, ඔහු ‘ආකාස කුසුම්’ හා එක්වීමට කැමැත්ත පළ කර සිටියේය. මා දකින විදිහට ප්‍රේමසිරි මහතාගේ සිනමා නිෂ්පාදන කර්තව්‍යයේ දෙවැනි ගමන පටන් ගත්තේ එතැනිනි. ඒ ආරම්භය අප සනිටුහන් කළේ, “සරසවි සිනෙරු” නමින් හවුල් චිත්‍රපට සමාගමක් ස්ථාපිත කරමින්ය. 
ආකාස කුසුමින් පසුව ඔහු මාගේ ‘උසාවිය නිහඬයි’, මෙන්ම ‘ගාඩි’ චිත්‍රපටයේ ද සම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළේය. අප දෙදෙනාගේ සබඳතාව දිගු වූවකි. ඒ දිගු වෘත්තීය මාවතේ සුවිශේෂත්වය ලෙස මා දකින්නේ, චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙතුවක් කලක් එවැනි මිතු දමක් දිගුකල් පැවතීමම ආශ්චර්යයක් වෙන නිසාය. මක් නිසාද යත්, සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා එකිනෙකා සමග විරසක වෙන බැවිනි. එලෙසින් විරසක නොවූයේ ප්‍රේමසිරි මහතා මනුස්ස ගුණාංගවලින් පිරිපුන් මිනිසෙකු වීම නිසා යැයි මම හඟිමි. ඊට දීර්ඝ පැහැදිලි කිරීමක් කළහොත්,  ලංකාවේ සිනමා කර්මාන්තය යනු අවිනිශ්චිත වූවකි. නිෂ්පාදකවරයෙකු කරනු ලබන ආයෝජනය ඵල සහිතද, ඵල රහිතද යන්න ගැන කිසි විටෙකත් කිව නොහැකිය. වෙනත් නිෂ්පාදනවලදී ප්‍රතිලාභ උපයාගත හැකිය යන්න කල් තියාම නිගමනය කළ හැකි වූවද, අපේ සිනමා කර්මාන්තයේ ස්වාභාවය අනුව එසේ කළ නොහැකිය. එය ඉතා කුඩා කර්මාන්තයකි. ඒ හැරත් වසර හැත්තෑ පහකට ආසන්න ඉතිහාසයක් ඇති අපේ සිනමා කර්මාන්තයේ නිෂ්පාදකවරුන්ගේ ලැයිස්තුවක් සැකසුවහොත්, සමාගම් යුගයෙන් පසුව එක දිගට චිත්‍රපට නිෂ්පාදනය කර තිබෙන්නේ කෙතරම් සීමිත පිරිසක්ද යන්න මැන ගත හැකිය. 


ඒ අනුව ප්‍රේමසිරි මහතා විරල ගණයේ නිෂ්පාදකවරයෙකි. ඔහු ලාභ – අලාභ,  යස - අයස, ප්‍රසංසා කිසිවක් අපේක්ෂා නොකොට, 2008 මා ඉහත කී පරිදි ඔහුගේ සිනමාවේ දෙවැනි ගමනින් පසුව මේ දක්වා මාගේ නිර්මාණ සමග පමණක් නොව අසෝක හඳගමයන්, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, කුමාර තිරිමාදුර- සරත් කොතලාවල, නිලේන්ද්‍ර දේශප්‍රිය වැනි නිර්මාණකරුවන් සමග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතව සිටීම මගින් යම් කිසි ලකුණක් සටහන් කර තිබේ. ඒ දෙස බැලූ විට පැහැදිලි වෙන සත්‍යයක් වෙන්නේ ඔහු විශ්වාස කරන දේ වෙනුවෙන් ආයෝජනය කර තිබීමය. එනම් යම් අයගේ නිර්මාණ වෙනුවෙන් උදවු කිරීමේ අභිලාෂයෙනි. එනිසාම මා හට ඔහු කෙරේ ඇත්තේ ඉමහත් කෘතවේදීත්වයකි. එවැනි අය කළුනික වැනි දුර්ලභ මෙන්ම විරල චරිත බැව් මාගේ අදහසයි. නිෂ්පාදකවරුන්ට මේ රටේ ඇත්තේ පැවතිය නොහැකි වාතාවරණයක් නිසා එනයින් ඔහු විරල මිනිසෙකු වේ. බොහෝ විට චිත්‍රපට කළ පසු එහි කීර්තිය ලැබෙන්නේ අධ්‍යක්ෂවරුන්ට මෙන්ම නළු නිළියන්ට වුවද, නිෂ්පාදකවරයාගේ නම කරළියට එන්නේ කලාතුරකිනි. 
ඔහු ඒ කිසිවක් මායිම් නොකලේ සිනමාව කෙරෙහි මෙන්ම නිර්මාණකරුවන් කෙරෙහි සහ සමස්තයක් ලෙස හොඳ දේ වෙනුවෙන් පෙනීසිටීමට ඇති කැමැත්ත නිසා විය හැකිය. ඔහු එලෙසින් ලාභ අපේක්ෂාවෙන් තොරව කළ නිර්මාණයක රඟපෑ නළුවෙකු හෝ නිළියක වෙනුවෙන් ජාත්‍යන්තරව හෝ දේශීයව සම්මානයක් ලැබී ඇතැයි මා පැවසූ විට ඔහු නිර්ව්‍යාජව පවසන්නකි. එය එක් වචනයකි. ‘‘සතුටුයි’’ යන්න එම වචනය වේ. එය අවංකවම ප්‍රකාශ කරන්නකි. 
සාර්ථක ව්‍යවසායකයෙකු මෙන්ම ග්‍රන්ථ ප්‍රකාශන හා අලෙවි ක්ෂේත්‍රයේ සාර්ථක චරිතයක් වෙන ඔහු සිනමාවට එලෙසින් දායක වෙන්නේ ඇයි යන්න ගැන විමසා බැලුවහොත්, අපට පෙනීයන්නේ සිනමාව හා කලාව වෙනුවෙන් ඔහු වැයකරනු ලබන්නේ වෙනත් ඔහුගේ ව්‍යාපාර වෙතින් ලබන අතිරික්ත ධනය යැයි කිව හැකිය. ඔහු කිසිම දවසක පෝස්ටරයක හෝ වෙනත් විදිහකට තමන්ගේ නම යන විදිහ ගැන මායිම් නොකළේය. ඡායාරූප ගැනීම් වෙනුවෙන්වත් උනන්දු නොවන චරිතයකි. 
එතුමන්ගේ අසූ විය සැමරීම වෙනුවෙන් සැකසීමට නියමිත සමරු කලඹ වෙනුවෙන් ඔහු අනෙක් අය සමග අරගත් ඡායාරූප නොමැතිවීම මගින් එය කදිමට සනාථ වෙන්නකි. ඔහුගේ නිර්මාණ වෙනුවෙන් සම්මාන ගෙනෙන මොහොතකදීවත් ඔහු සිට නැත. නමුදු ප්‍රධානම දේ නම් ඔහු ආත්ම තෘප්තියක් ලැබීමයි. ඔහු ඒ ජයග්‍රහණයේ සතුට සමරන්නේ ඔහුගේ ගෙදර අය සමගය, නැතහොත් ඔහුගේ බිරිඳ සමගය. කිසි දිනෙක ඔහු දර්ශන තලයකට හෝ එන්නේ ද නැත. එමෙන්ම නළු නිළි සහ අනෙකුත් අය සමග සබඳතා පවත්වන්නේ ද නැත. තම මුදල ආයෝජනය කර පාඩුවේ සිටින්නේය. එය තනිකරම තම ආත්ම තෘප්තිය උදෙසා කළාවූ දෙයක්මය. 
ගෙවීගිය කාලයේ දී සිනමාව මෙන්ම වෙනත් විෂයයන් ගැන අප හමුවී විට කතා කළ දේ බොහෝ ය. ඒ අතරින් අපේ රටේ සිනමාව නමැති ක්ෂේත්‍රය පවතින්නේ කෙසේද යන මාතෘකාව ගැන අපි දෙදෙනා කතා කර ඇත්තෙමු. විවිධ කාලවලදි රටේ සිදු වූ විවිධ හේතු අරබයා, විවිධ ව්‍යසන නිසා අපේ රටේ සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයින්ගේ පැමිණිම ඉතා අවම වීය. එතෙක් අප කළ නිෂ්පාදන අතර ලාභ ලැබූ මෙන්ම පාඩු ලැබු ඒවා ද තිබිණ. අපේ හමුවීම්වලදී අප කතා කළේ එම නිර්මාණ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන්නේ සහ කෙසේ ද අපේ සිනමා වෙළෙඳපොළ පුළුල් කරගන්නේ යන කරුණු ගැනය. මම එසේ සිනමාවේ පැවැත්ම උදෙසා වූ වෙළෙඳපොළ ගැන කතාකිරීමට මාතෘකා කරගත්තත් ඔහුට ඒ ගැන කතාකිරීමට කිසිදු වුවමනාවක් නැත. ඔහු ඒ කතාකිරීම් ඔස්සේ උත්තර සොයාගත යුත්තේ ද අප විසින්ම යැයි හිතන්නට අපට ඉඩ ලබා දුන් බව කිව හැකිය. 
මා දන්නා පරිදි, චිත්‍රපට බෙදාහැරීම් අංශ විසින් 2018 දී පමණ තිරගත වූ චිත්‍රපට බෙදාහරින සමාගම් වෙතින් ඔහුට විශාල මුදලක් ලැබීමට නියමිතය. ඒ අනුව මෙරට සිනමා කර්මාන්තය ඔහුට ණය මිසක, ඔහු මෙරට  සිනමාවට ණය නැති නිර්ලෝභී අව්‍යාජ සොඳුරු මිනිසෙකි.  සැබැවින්ම මෙරට සිනමාව ඔහුට ණය බව මම ඉඳුරාම ප්‍රකාශ කරමි. අපි ඔහුට ණය වෙන්නේ ඔහු නොවන්නට ‘‘ගාඩි’’, ‘‘ආකාස කුසුම්’’ මෙරට සිනමාවේ පිපෙන්නේ නැති සේම, ’’උසාවිය නිහඬයි’’ හැදෙන්නෙත් නැති විම යන කරුණු නිසාවෙනි.


ඔහු ගැන මෙවන් විශේෂිත සටහනක් ලිවීමේ නිමිත්ත වෙන්නේ ඔහුගේ ජීවිතයේ අසූ වැනි විය සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය වෙනුවෙනි. ඔහු හට අසූවයි. ඒ වෙනුවෙන් උත්සවයක් කිරීමට සූදානම් යැයි මා හට දැනගන්නට ලැබුණු මොහොතේ මා එක් අතකට පුදුම වීමි. ඊට හේතුව ඔහුට අසූව යැයි මා විශ්වාස නොකරන හෙයිනි. එතරම්ම කඩිසර, එතරම්ම ජවයකින් ශක්තියකින් චෛතසිකව හා මානසිකව කටයුතු කරන ඔහු, විටෙක තරුණයෙකු වත් නොගන්නා තරමේ එඩිතර තීරණ ගන්නා මිනිසෙකි. ඊට හේතු ද ඔහු විසින්ම සපයා ඇත. ඔහුගේ වයස ඔහුගේ ජීවිතය මන්දගාමී කර නැතැයි කිව හැකිය. ඔහු සතු කෙසඟ සිරුරත් සිනාමුසු මුහුණත් දිහා බලන විට ඔහු වියපත් වූ මිනිසෙකු යැයි කිසි විටෙකත් මම විශ්වාස නොකරමි. අසූ විය යැයි කී විට මා පුදුම වූයේ එකී ස්වභාවය නිසාය. කෙසේ වෙතත් සැබැවින්ම ඒ අසූ විය නම් සැමරිය යුතුම වෙයි. ප්‍රේමසිරි මහතාගේ සාර්ථකත්වයට හේතු දෙකක් ඇතැයි මට කිව හැකිය. ඉන් පළමුවැන්න ඔහු සතු මධ්‍යම ප්‍රතිපදාවය. අනෙක ඔහු ගතකරනු ලබන අල්පේච්ඡ ජීවිතයයි. මෙතරම් ව්‍යවසායකත්වයෙන් පොහොසත් ඔහු, අල්පේච්ඡ වන්නේ කෙසේ දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. වෙනත් ව්‍යාපාරවල යෙදී සිටින අය මුදල් භාවිත කරන ආකාරය සසඳා බැලූ කල, ප්‍රේමසිරි මහතාගේ සාර්ථකත්වයේ රහස වෙන්නේ මා පෙර සඳහන් කළ පරිදි ඔහු සතු මධ්‍යම ප්‍රතිපදාවට අයත් ජීවිතයත්, අල්පේච්ඡ බවත් නිසාමය. 
ජීවිතයෙහි ඔහු කටයුතු කර ඇත්තේ ලාභෝ- අලාභෝ- යස- අයස – කීර්තිය -ප්‍රසංසා යන සියල්ල දෙස සමබර සිතින්ම යැයි අතිශයෝක්තියකින් තොරව කිව හැකිමය. එනිසාවෙන්ම සමබර ලෙස ජීවිතය දකින ඔහු තෘප්තිමත් මිනිසෙකි. ජීවිතයේ අසූව වෙන විට මේ රටේ බොහෝ මිනිසුන් සිටින්නේ අතෘප්තියෙනි. එනමුදු ප්‍රේමසිරි මහතා සැබෑ ලෙසම ජීවිතය ගෙවන්නේ ආත්ම තෘප්තියෙන් යැයි මම හඟිමි. ඔහු හට ගෙවී ගිය කාලය ගැන අතෘප්තියක් නැත. ඔහු සතුටිනි, තාප්තියෙනි. ඒ මා ඔහු ගැන දන්නා විදිහ අනුව පවසන්නක්මය.  
සන්තුෂ්ටිය පරම ධනය ලෙස සලකා ජීවිතය ගත කරන ප්‍රේමසිරි මහතාට මම චිර ජීවනය හා සතුටම ප්‍රාර්ථනා කරමි.  
සඳුන් ගමගේ