ඌරුමස් කෑවොත් සූකර උණ හැදෙයිද ?


සූකර උණ කිසිම අවස්ථාවක මිනිසුන්ට බෝවීමේ අවදානමක් නැත. නමුත් මේ දිනවල ඌරන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින්නේ මෙම රෝගය නිසා මිය යන ඌරන්ගේ මාංශවලින් වෙනත් ආසාදන තත්ව ඇතිවීමේ අවදානම නිසාවෙනි.  

අලි මදිවට කොටි යන පිරුළ ලංකාවට තරම් ගැළපෙන වෙන මුතු ඇටයක් මුළු ඉන්දියන් සාගරයේම තවත් නැත. ඒ මොකෙන් නැතත්, ලංකාව සැම  විටම කරදරවලින්, රෝගවලින් මුල්තැන ගන්නා බැවිනි. මෙතෙක් ගිලගත් වසංගත මදිවට අප්‍රිකානු සූකර උණ (African swine fever-ASF) නමින් ඌරන්ට බෝවන වසංගතයක් මෙරට පළමුවරට ව්‍යාප්ත වෙමින් පවතී. වන හා ගෘහස්ථ සූකරයන්ට වැලඳෙන මෙම රෝගය භයානක රෝගයක් ලෙස ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (WOH) මගින් ප්‍රකාශයට පත් කර තිබෙන පසුබිමක මෙරට ගම්පහ, මිහින්තලය සහ කොළඹ යන ප්‍රදේශවල මෙය බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
තත්ත්වය සෝචනීය ද බියකුරු ද යන්න තවමත් ඇතමෙකුට නිසියාකාරවම පැහැදිලි නැත. මන්දයත් ඉකුත් ඔක්තෝබර් 25 වෙන දින මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් මාස තුනක සීමා මායිම් හේතුවෙන් ඇතැම් කුප්‍රකට වෙළෙන්දන් එළඹෙන උත්සව සමයේ කුකුළු මස් මිල ඉහළ දැමීමට දැනටම අමුඩ ගසා ඇති බැවිනි. එවැනි තත්ත්වයක් මත මේ රෝගය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මාධ්‍යකරුවන් ලෙස අපගේ වගකීමකි. 
ඒ අනුව පසුගිය මාස එකහමාරක කාලය ඇතුළත මෙරට ඌරු ගොවිපොළවල් ආශ්‍රිතව ව්‍යාප්ත වූ රෝගය පී.ආර්.ආර්.එස්. (Porcine Reproductive and Respiratory Syndrome) බවට පශු වෛද්‍ය පර්‌යේෂණ ආයතනය තහවුරු කිරීමත් සමග එහි දී මතුවන රෝග ලක්ෂණවලට වඩා වෙනස් රෝග ලක්ෂණ පවතින සතුන් ද ගොවිපොළ කිහිපයකින් වාර්තා වීම හේතුවෙන් පශු වෛද්‍ය පර්‌යේෂණ ආයතනය එම සතුන්ගේ සාම්පල කිහිපයක් පරීක්ෂා කිරීමේ දී ඒ අතරින් කිහිප දෙනකුට අප්‍රිකානු සූකර උණ වැළඳී තිබෙන බව තහවුරු වීමත් සමග මෙම බරපතළ රෝගී තත්ත්වය මෙරටින් 
හඳුනාගෙන ඇත.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම රෝගය රට පුරා පැතිරුණු බවට පවතින චෝදනා පිළිබඳව ද අප මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් හේමන්ත ගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ මෙම රෝගයෙන් මියගිය සතෙකුගේ මාංශ පරීක්ෂාවකින් සොයාගත්  බවත්, මින් පෙර අප්‍රිකානු සූකර උණ ලංකාවෙන් සොයා ගෙන නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පෙරදී දැනුවත්භාවයක් නොතිබූ බවයි. 


ඌරන්ගේ සූකර උණ මිනිසුන්ටත් එයි ද?


අප්‍රිකානු සූකර උණ යනු වෛරසයක් මගින් ඌරන්ට  බෝවන රෝගයක් වන අතර රෝගය පැතිරිය හැක්කේ ඌරන් අතර පමණි. මෙම රෝගය කිසිම අවස්ථාවක මිනිසුන්ට බෝවීමේ අවදානමක් නැත.  නමුත් මේ දිනවල ඌරන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින්නේ මෙම රෝගය නිසා මිය යන ඌරන්ගේ මාංශවලින් වෙනත් ආසාධන තත්ත්ව ඇතිවීමේ අවදානම නිසාවෙනි.  
ඌරාගෙ ශරීරයේ වසා පද්ධතිය, පෙනහළු, වකුගඩුව වැනි අවයව කිහිපයකට බලපෑමක් සිදු කරන පී.ආර්.ආර්.එස්. (Porcine Reproductive and Respiratory Syndrome) යනු රෝග කිහිපයක එකතුවක් වන අතර එහි ඇතුළත් රෝගයක් ලෙස අප්‍රිකානු සූකර උණ දැක්විය හැක. මෙම රෝගය ඌරන් අතර පැතිරීම සිදුවන්නේ රෝගී ඌරෙකුගේ ඛේටය හෝ නහයෙන් එන දියරයක් ආග්‍රහණය කිරීමෙන් හෝ ආහාරයට ගැනීමෙන් ශ්වසන පද්ධතිය හරහා ය. ඒ අනුව රෝගී ඌරෙකු හඳුනාගන්නා ලක්ෂණ ලෙස ප්‍රජනන ක්‍රියාකාරීත්වය අඩපණ වීම, නියුමෝනියාව සහ ද්විතීයක බැක්ටීරියා ආසාදනයට වැඩි ඉඩක් පවතී. ඊට අමතරව පෙණහලු සහ වසා පද්ධතිය ඉදිමීම, වකුගඩු ඉදිමීම වැනි රෝග ලක්ෂණ ද මෙහිදී අපට දැක ගැනීමට හැකියාව ඇත.”
එමෙන්ම ලොව ඈත එපිට මහද්වීපයක සිට අප්‍රිකානු සූකර උණ මෙරටට හදිස්සියේ කඩා වැදීම පිළිබඳව නිශ්චිත තොරතුරක් නොවූවද, එය අවිධිමත් ලෙස ආනයනය කළ ඌරු මස්වලින් හෝ ගුවන්තොටුපොළ හා වරාය මගින් ඉවතලන ආහාරවලින් ඇතුළු වී ඇති බවට අනුමාන කරන්නේ යැයි පසුගියදා (29)  මහනුවර ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසූ අතර ඒ බව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා වසංගත විද්‍යාත්මක විමර්ශනයක් සිදු කරමින් සිටින බව ද ඇය පැවසුවාය.
මෙරටෙහි ඌරු ගොවිපොළවල් 3500ක් පමණ ඇති අතර ඒවායේ වෙසෙන ඌරන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වේ.  ඉන් 400 - 500 අතර සතුන් සංඛ්‍යාවකට මෙම රෝග ආසාදනය වී මේවන විටත් ඌරන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් ඇති බවට එතුමිය වැඩිදුරටත් 
පවසා ඇත.
මෙම තත්ත්වය යටතේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තම්න්තුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් යම් යම් සීමා සහ තහනම් කිරීම් කිහිපයක් පැනවීමට පියවර ගත්තේ ය. එම ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ( PRRS) ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කෙරුණි. ඒ අනුව, ඔක්තෝබර් 25 වන දා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින් රෝග පැතිරීම වැළැක්වීම සඳහා පහත කොන්දේසි කඩ කිරීමෙන් වැළකිය යුතු බව දන්වා 
තිබේ. එනම්,
-සත්ත්ව රෝග පනතේ 5 (4) වගන්තිය යටතේ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම.
- ආසාදිත සතුන් ඝාතනය කිරීම.
-රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්රගම භාවිත කිරීම.
-අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවී සත්ත්ව වෙළෙඳ පොළ පැවැත්වීම, දර්ශන හා තරග පැවැත්වීම.
-ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍යට විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ ඛෙදාහැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම.
-අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාදිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්රේව්යූයක් හෝ ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම හෝ අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත් වූවා හෝ ආසාදිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්රසදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම.
-මීට අමතරව ඌරු ගොවිපළවල් පවත්වාගෙන යන ගොවීන් තම ඌරන් කොටු කිරීම හෝ ගාල් කොට තබා ගැනීම හරහා ද රෝග ව්‍යාප්තිය වළක්වා ගත හැකියි.
ශ්‍රී ලංකාවේ පවතින ආගමික වටපිටාව සහ සංස්කෘතික රාමුව ඇතුළත මාංශ ආහාරයට ගැනීම අනෙක් රටවල්වලට සාපේක්ෂව අඩු මට්ටමක පැවැතිය ද, මෙරට තුළ සැලකිය යුතු මස් පරිභෝජනයක් සිදු වේ. නමුත් මේ තත්ත්වය හමුවේ දැනටමත් වෙ​ෙළඳපොළේ පවතින ඌරුමස් තොග පිළිබඳ සැක කිරීමට පාරිභෝගිකයා පෙලඹී ඇත. 
මේ පිළිබඳව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් හේමන්තගෙන් කළ විමසීමේ දී ඔහු පවසා 
සිටියේ මෙවැන්නකි.
සූකර උණ කියන රෝගය මාංශ අනුභවයෙන් බෝවීමක් සිද්ධ වෙන්නෙ නැහැ. නමුත් මේ දිනවල මේ සතුන් මිය යාම නිසා, මියගිය සතුන් අභ්‍යන්තරයේ ඇතිවෙන බැක්ටීරියා ආසාදන හේතුවෙන් මාංශ විසවීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මාංශ ආහාරයට ගැනීමේ දී සැලකිලිමත් වීම වැදගත්. අවාසනාවකට අපිට මේ මාංශ වෙ​ෙළඳපොළේ පවතින අවස්ථාවේ දී සුදුසු ද නුසුදුසු ද යන්න තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ බව තීරණය කළ හැකි වන්නේ මාංශ සාම්පල් රස පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුවයි. ඒ අවස්ථාව ඇත්තේ ගන්නෝරුවේ පවතින සත්ත්ව පරීක්ෂණ ආයතනයටයි. මෙය දීර්ඝ ක්‍රියාවලියක් වන නිසාම සෑම මාංශ තොගයක්ම පරීක්ෂා කිරීම ප්‍රායෝගික නැහැ. ඒ නිසා පාරිභෝගිකයා තම අවශ්‍යතාවන් අනුව ඌරුමස් අනුභව කරන්නේ නම් ඒවා ඉහළ උෂ්ණත්වයක් යටතේ පිස ගැනීම අනිවාර්යයයි.’’  
මෙම උපදෙස් අනුගමනය නොකිරීමෙන් රෝගය පැතිරී ගියහොත් එය රටේ ජනතාවට මෙන්ම වනජීවි සම්පතට ද හානියක් වේ. ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය දක්වන පරිදි එයට හේතුව මෙය මෙරට වල් ඌරන් අතර ද පැතිරී යා හැකි නිසාවෙනි.  එය ලංකාවේ වන ඌරු ගහණයට පමණක් නොව ජෛව පද්ධතියට ද දැඩි තර්ජනයකි .
එමෙන්ම මෙම අප්‍රිකානු සූකර උණ පැතිරීම හමුවේ ඌරු මස් කර්මාන්තකරුවා ද පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට බව කිව යුතුමය. මෙරටට විදේශ රටවලින් ආනයනය කරන්නේ ඉතා සීමිත ඌරු මස් ප්‍රමාණයක් වෙන අතර, ඉතිරිය මෙරට ගොවිපළවල්වලින් ලබා ගැනීම සිදු කරයි. එක් අතකින් අප්‍රිකානු සූකර උණ වැලදීම හේතුවෙන් ඌරන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය අඩපණ වීම හා ගොවිපළවල්වල ඌරන් මිය යාම නිසා ඔවුන්ගේ කර්මාන්තය බිඳ වැටේ.  අනෙක් අතින් ඌරු මස් පරිභෝජනය අවම මට්ටමක ඇති හෙයින්, මේ සඳහා ඇති වෙ​ෙළඳපොළ මාස තුනක් තුළ බිඳ වැටී ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරයි.
වෙනත් මහද්වීපයකින් කෙසේ හෝ අප්‍රිකානු සූකර උණ දැන් මෙරටට පැමිණ ඇත. එය පැතිරීම වැළැක්වීමට රාජ්‍ය අංශය, කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයෝ තම වගකීම මේ මොහොතේත් නොපිරිහෙළා ඉටු කිරීමට  වෙහෙසී සිටිති. එහෙත් තම මඩිය තර කර ගැනීමට සිතන එකෙක් දෙන්නෙකු පමණක් මේ මොහොතේද ගිනිගෙන දැවෙන රැවුලෙන් සුරුට්ටු පත් කිරීමට සිතනවා විය හැක.