
වෙරළෙහි සුනඛයෙක් දැකගන්නට ලැබීමත් සමග, එම නිමිත්තෙන් දිවයින මිනිස් වාසයෙන් සපිරි බව අවබෝධ කරගත් විජය කුමරු, දිවයින ඇතුළට යනවිට හමුවූයේ කපු කටිමින් සිටි කුවේණිය යි. මෙහි සඳහන් කරන්නට යන්නේ, එම ඉතිහාස කතාව ගැන නොව, එම ඉතිහාස කතාවෙන් කියැවෙන කර්මාන්තය පිළිබඳවය.
ශ්‍රී ලංකාවේ පළමු වරට, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අනුමත, ගස්වල මුල්, පොතු, කොළ, මල් වලින් නිපැයෙන ස්වභාවික වර්ණ, නූල්වලට යොදා ඒ නූල් වලින් පාරම්පරික අත්යන්ත්‍ර භාවිත කරමින් රෙදි වියා, එම රෙදි භාවිත කරමින් ඇඳුම් නිපදවන ව්‍යවසායකයෙකු පිළිබඳ කතාවයි මේ. ඒ අනූව, පාරම්පරික පේෂකර්මාන්තය හෙළ සංස්කෘතියේ තිබු දෙය, වර්තමානයට ගැළපෙන අයුරින් අගය වර්ධනය කර, ජාත්‍යන්තරය දක්වා ගෙන ගිය ව්‍යවසායකයෙකු වෙන ඔහු, නමින් අමල් චන්දික ය. ඔහුගේ මෙම පේෂ කර්මාන්ත ව්‍යාපාරය පිහිටා ඇත්තේ, අම්බලන්ගොඩ, ගල්දූව ග්‍රාමයේය. ශ්‍රී ලංකාවේ පාරම්පරික පේෂ කර්මාන්තයට නව අරුතක් ගන්වමින්, රෙදිපිළි වර්ණ ගැන්වීමේ කලාව ප්‍රතිනිර්මාණය කිරීම ඔහුගේ අරමුණ විය. අමල් චන්දික ගේ ව්‍යාපාරයේ නාමය “සිහළ සළු” ය. එසේම ඔහුගේ නිෂ්පාදිතයේ නම “ඔසු වස්ත්‍ර” ය.

මේ අනූව කෘත්‍රිම වර්ණක වෙනුවට ස්වභාවික වර්ණ යොදාගෙන එයට ඖෂධීය දියර මුසු කර අගය එකතු කළ නිෂ්පාදනයක් වෙන ඔසු වස්ත්‍ර, මූලික වශයෙන් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර නිෂ්පාදනය කරන ලද්දකි.
කිසියම් රටකට මුළුමනින්ම ස්වදේශික වෙන්නේ යැයි හඳුනාගත හැකි දේශීය ප්‍රතිකාර, ඖෂධ, අත්බෙහෙත් සහ කෙම් ක්‍රම මෙන්ම ඇදහිලි ද ඒ අතර ඇති බව සැබෑවකි. එසේම පුරාණයේ සිට විවිධ රටවල භාවිතයේ පැවත එන විදෙස් සංක්‍රමණ සහ ආක්‍රමණ යනාදිය මඟින් වෙනත් රටවල ප්‍රතිකාර සමඟ මුසු වූ සමෝධානික වෛද්‍ය සම්ප්‍රදායන් ද ලොව පුරා ක්‍රියාත්මක වෙයි. සියවස් ගණනක් පුරා පැවත ආ එවැනි බොහෝ ක්‍රම සොබාදහමත් සමඟ සමීපව ක්‍රියාත්මක වෙන පරිසර හිතකාමි වූත්, සෞඛ්‍ය හිතකාමී වූත් ක්‍රමවේදයන් ලෙස ඉහළම පිළිගැනීමට පාත්‍රව ඇත.
“මගේ පේෂකර්මාන්තයට නූල් ගෙන්වන්නේ ඉන්දියාවෙන්. අරළු, බුළු, නෙල්ලි, කහ, පිච්ච මල්, කොහොඹ පොතු, කොහොඹ කොළ, සැවැන්දරා මුල්, කීකිරිඳිය, සේපාලිකා මල් වගේ ඖෂධ අඹරලා හෝ තම්බලා යුෂ අරගෙන ඒවා රත් කරනවා. ඒ යුෂවලට නූල් කිඳා බස්සලා තියලා වර්ණ ගන්වනවා. ඒ නූල් යොදාගෙන අත් යන්ත්‍රවලින් රෙදි වියනවා, ඒ රෙදි වලින් තමයි නිමි ඇඳුම් මහන්නේ.”
“මේ කර්මාන්තයේ තියෙන ප්‍රශ්නය තමයි, කර්මාන්තයක් ලෙස ඉස්සරහට ගෙන යාම ගැටලුවක් වෙනවා. හේතුව අමුද්‍රව්‍ය සොයාගැනීම. කර්මාන්තයක් ලෙස ඉස්සරහට යනකොට අතින් පොතු කුඩු කරලා බැහැ. අමුද්‍රව්‍යවල උපරිම සාරය ගන්න ක්‍රමවේදයන් තියෙන්න ඕනැ. මම අත්හදා බලලා අද වෙනකොට ජාත්‍යන්තර වෙළෙඳපොළ මට්ටමට ගෙනයන්න පුළුවන් තරමට නිෂ්පාදනය වැඩිදියුණු කරලා තියෙනවා. අපි විකුණන සියලුම ඇඳුම් වර්ග ගස්වල පොතු, බෙහෙත් වර්ග සංයෝජනය කරලා, ඔසු වස්ත්‍රයක් විදිහට නිෂ්පාදනය කරලා තිබෙනවා. ඇඟට 100% ක්ම සනීපාරක්ෂාව ඇති වස්ත්‍රයක් විදිහට නිෂ්පාදනය කළ ඇඳුමක් අවසානයේ දී අපට ලැබෙනවා. මෙහි ප්‍රධාන ඉලක්කය ජාත්‍යන්තර වෙළෙඳපොළ. මේ කර්මාන්තයෙන් සෘජු හා වක්‍රව සෑහෙන්න රැකියා ප්‍රමාණයක් පුළුවන්. විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්. කෘෂි කාර්මික ආර්ථිකයක් හා දේශීය ස්වයං රැකියා ආර්ථිකයක් ගොඩනැගෙනවා.”
විදේශිකයන් සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරමින් මෙසේ ඖෂධීය ගුණයෙන් යුක්ත කමිස, කලිසම් මෙන්ම කාන්තා ඇඳුම් ද, අනෙකුත් රෙදි නිෂ්පාදනයන් සිදුකිරීමේ සංකල්පීය අවශ්‍යතාව පිළිබඳව අමල් චන්දික මෙසේ සඳහන් කළේය.
“අපි අන්තර් ජාලයෙන් හොයලා බැලුවොත්, සමහර රෙදි නිසා සමට ආසාදන, ආසාත්මිකතා මෙන්ම ශාරීරිකව අතුරු ආබාධ සිදුවූ අවස්ථා හොයා ගන්න පුලුවන්. දැන් මෙහිදී ඒ අතුරු ආබාධයන් නැති, ශරීරයට සෞම්‍ය ගුණයෙන් යුක්ත ඇඳුමක් තමයි නිෂ්පාදනය කරලා තිබෙන්නේ. මිනිසාගේ ප්‍රතිශක්තිය යාවත්කාලීන වෙන වැඩක් කියලා කිව්වොත් නිවැරදියි. මෙයට යොදාගන්නා ඖෂධ සමට හිතකර ඖෂධ වර්ග තමයි යොදාගෙන තිබෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනෑ, අපි මූලිකවම ඉලක්ක කරගෙන තියෙන්නේ, පාරිභෝගිකයන්ට රාත්‍රී ඇඳුම්, එහෙම නැතිනම් නිදහසේ ඉන්න වෙලාවට අඳින ඇඳුම්. මොකද, එතැනදි පාරිභෝගිකයා විලාසිතාවක් බලන්නේ නෑ. ඔසුවක් බිව්වොත් ගුණයක් ලැබෙනවා වගේ මේ ඇඳුම් වලින් ශරීරයට සහනයක් ලැබෙනවා. ඇඳුම් විතරක් නෙවෙයි, තුවා, ඇඳඇතිරිලි, කොට්ට උර, ටී ෂර්ට් වර්ග ඕනෑම දෙයක් තිබෙනවා. ඒවගේම ළමා නිමි ඇඳුම්, වැඩිහිටි නිමි ඇඳුම් ඕනෑම ප්‍රමාණයකින් තෝරා ගන්න පුළුවන්.”
කතා බහ තුළදී සිතට පැන නැගුණු පැනයකි, මේ රෙදිපිළි නිෂ්පාදන හෝදන විට පාට යන්නේ නැද්ද? යන්නයි. එම පැනයටත්, අමල් චන්දික මෙසේ සඳහන් කළේය.
“නැහැ. රෙදි සෝදන මැෂිමක දාලා හෝදන තත්ත්වයට මේ රෙදිපිළිවල වර්ණක වැඩිදියුණු කරලයි තිබෙන්නේ. දේශීය පාරිභෝගිකයන්ගෙනුත් මේ ඇඳුම්වලට ඉල්ලුමක් තිබෙනවා. ඒ අනූව පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි අපි ඇඳුම් නිර්මාණය කරලා දෙන අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට, මනාලියක් අඳින සාරිය, මනාලයා අඳින කෝට් එකක් එහෙමත් මේ විදිහට නිර්මාණය කරලා දෙනවා.”
“කර්මාන්තශාලාව, ඔසු උයන, අලෙවි සැල යන මේවා එකම තැනක පිහිටලා තිබෙන නිසා සංචාරකයෝ ඇවිත් මේ ඇඳුම් නිෂ්පාදනය කරන විදිහත් නරඹලා තමයි, තමන් කැමති දේ මිලදී ගන්නේ. ඒ තුළින් ඔවුන් යම් ආශ්වාදයකුත් ලබනවා. දේශීය පාරිභෝගිකයනුත් අපිට ඇණවුම් දෙනවා. ඒ වගේම සිවුරු පූජා කරන අවස්ථාවන්වලදී සිවුරු ඇණවුම් බාරගෙන නිර්මාණය කරලා දෙනවා.”
අත්යන්ත්‍ර පේෂකර්මාන්තය අප රට තුළ ඉපැරණි පේෂ කර්මාන්තය ආශ්‍රිතව ඈඳුණු කර්මාන්තයකි. මේවා ඉතාමත් ප්‍රසිද්ධ වී ඇත්තේ විදේශීය වෙළෙඳපොළෙහිය. විවිධ මෝස්තර, වර්ණාවලියක් සහ දේශීය තාක්ෂණය යොදා පාරම්පරිකව පැවතගෙන ආ ගෘහස්ථ කර්මාන්තයක් ලෙසටද මෙය හැදින්විය හැකිය. අත්යන්ත්‍ර පේෂකර්මාන්තය තුළ දක්නට ඇති ප්‍රධාන ආර්ථික වාසියක් ලෙස අපනයනය කිරීමේදී මහා පරිමාණ, සුළු පරිමාණ, කේවල හෝ තනි නිෂ්පාදන අවශ්‍යතාව අනූව නිපදවා ගැනීමේ හැකියාව තුළින්, අවශ්‍ය වෙළෙඳපොළ ට ප්‍රවිෂ්ට වීමට හැකියාව සහ ශක්‍යතාවයේ ඇති වාසියයි. තවදුරටත් රට තුළ දැනටමත් ඇති අමුද්‍රව්‍ය භාවිත කර අලුත් නිෂ්පාදන නිපදවා රටේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීමට ඇති අවකාශය සහ අත් යන්ත්‍ර රෙදි පේෂ කර්මාන්තය ගැන තවදුරටත් සොයා බැලීම තුළින් නව නිර්මාණයක් කළ හැකිය.
අමල් චන්දික ගේ ඔසු වස්ත්‍ර රෙදිපිළි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන සෑම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ, පරිසර හිතකාමි අයුරිනි. ගස්වල පොතු එහෙම ලබාගන්නේ ලී මෝල් වලින් ඉවත දමන කොටස් වලින්. කොළ, මල් ආදියත් බොහෝවිට ලබාගන්නේ එසේ ඉවත දමන දේ වලින්. මෙහි තාක්ෂණය ගැන කිව්වොත්, අතීත කාලයේ සිට පැවත එන සිවුරු පඬු කිරීමේ තාක්ෂණයට හා සමාන තාක්ෂණයක් කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන එම තාක්ෂණයේ වැඩි දියුණු කිරීම් තිබෙනවා.”
“ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන කර්මාන්තයක් මෙවැනි අගය එකතු කිරීමක් සමඟ නැවත ලංකාව තුළ අලෙවිය පමණක් නෙමෙයි, විදේශ රටවලට අපනයනය කරන්න හැකියාව ලැබීම සම්බන්ධයෙන් මට තිබෙන්නේ නිහතමානි සතුටක්. ඒ වගේම තමයි මට හැකි අයුරින් ලංකාවට විදේශ විනිමයක් ගෙනෙන්නට හැකියාව ලැබීම සම්බන්ධයෙනුත් ආඩම්බරයක් තිබෙනවා.”
එම්. තාරික්