නිශ්ශංක සේනාධිපති
ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන මහඟු සම්පතක් ලෙස කරුංකා අපනයනය කිරීමේ ව්‍යාපාරය හැඳින්විය හැකිය. විදේශ විනිමය උපයන වඩාත් පහසු මාර්ගයක් වුවද, එය ව්‍යාපාරයක් වශයෙන් ශ්‍රී ලංකාවෙහි විධිමත්ව සිදු නොවේ. බොහෝ විට සිදු වෙන්නේ අයථා මාර්ගයෙන් කරුංකා පිටරට යැවීමය. මෙවැනි ජාවාරම් වලින් ජාවාරම්කරුවන්ගේ මඩිය තර වුවද, එයින් රටට ඩොලර් නොලැබේ. ඇතැම් ජාවාරම්කරුවන් එවැනි ජාවාරම් හේතුවෙන් හිරේ විලංගුවේ වැටුණද එම කටයුතු නතර නොවන්නේ එයින් අධික ලාභයක් ඉපැයිය හැකි හෙයිනි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ කරුංකා අපනයනය කිරීම විධිමත් කර රටට ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමේ අවශ්‍යතාව දැක එම ව්‍යාපාරය ඒ සබැඳිව අධ්‍යයනයක් කරන ලෙස ඇවන්ට් ගාඩ් සමාගම් සමූහයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපතිට
පවරන ලදී.
එම ව්‍යාපෘතියට මොකද වුණේ? ඇවන්ට් ගාඩ් සමාගම් සමූහයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති එයට මෙසේ පිළිතුරු දුන්නේය.
“කරුංකා ප්‍රතිඅපනයන ව්‍යාපාරය ක්‍රියාත්මක වෙච්ච ආකාරය අනුව එයින් වාසිය සැලසුනේ අපේ රටට නොවේ. කරුංකා නිපදවන රටවල්වලට. කරුංකා මෙට්‍රික් ටොන් එකකින් අපේ රටට ලැබුණේ ඩොලර් 800 ක පමණ මුදලක්. ඒ වගේම මේක ජාවාරම්කරුවන් අතට පත්වෙලා තිබුණේ. මෙන්න මේ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ව්‍යාපාරය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදුකර එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට හිමිකරදීමේ වගකීම මට භාර දුන්නේ. නමුත් මේක පහසු නෑ. තරගකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම කරුංකා ප්‍රති අපනයනය කරන කොට ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට අනුව භාණ්ඩ අපනයනයේ දී හිමිවෙන ප්‍රතිලාභ අවභාවිත
කර තිබුණා.
ඉන්දියාවේ පුවක් පරිභෝජනය හරි ඉහළයි. කවදාවත් නතර වෙන්නේ නෑ. විශාල ජනතාවක් ඉන්න නිසා ඔවුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් බුලත් විට පරිභෝජනයට ගන්නවා. ඒ වගේම විවිධ කර්මාන්තවලට වගේම වර්ණ නිෂ්පාදනය සඳහාත් පුවක් පාවිච්චියට ගන්නවා. ඒ නිසා ඉන්දියාව තුළ කරුංකා සඳහා විශාල
ඉල්ලුමක් තියෙනවා.
ඉන්දියාවේ වාර්ෂික කරුංකා හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන එකක් (10,00000) ඉන්දියාව තුළ කරුංකාවලට විශාල ඉල්ලුමක් ඇතත් එහි නිසි ප්‍රයෝජන ලබා ගන්න අවශ්‍ය සැපයුමට සරිලන පුවක් නිෂ්පාදනයක් ලංකාවෙ සිදු වෙන්නෙ නෑ. ලංකාවේ වර්ෂයකට නිෂ්පාදනය කරනු ලබන කරුංකා ප්‍රමාණයෙන් වාර්ෂිකව අපනයනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් හත් දාහත්, අට දාහත් අතර ප්‍රමාණයක්. ඒ වගේම ලංකාවේ කිසිම කෙනෙක් ව්‍යාපාරයක් විදිහට පුවක් වගා කරන්නේ නෑ. මම කියපු මෙට්‍රික් ටොන් හත් දාහත්, අට දාහත් අතර ප්‍රමාණය නිෂ්පාදනය කරන්නේ ගමේ ගොඩේ බඩවැටිවල ඉබේ වැවෙන පුවක් ගස්වලින් ලැබෙන පලදාවෙන්.
මෙන්න මේ කාරණය නිසා අපි පර්‌යේෂණ කටයුතු සඳහා ලංකාවේ සිටි ඉහළම විශේෂඥ කෘෂිකර්ම නිලධාරියෙකු වන ආචාර්ය ජේ.එම්. සෙනෙවිරත්න අපගේ සමාගමට බඳවාගෙන ඔහුගේ උපදෙස් පරිදි පර්‌යේෂණ කළා පුවක් වගාව කොහොමද සාර්ථකව සිදු කරන්නේ කියලා. මේ සඳහා අපි අදාළ අංශවලින් අවසර අරගෙන මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි හා මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන යන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායම් දෙකක් පුවක් වගාව අධ්‍යනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට පිටත් කර යැව්වා.
ඒ අයට පැවරුණු වගකීම තමයි ශ්‍රී ලංකාව තුළ පුවක් වගා කරලා තියෙන්නේ කොහේද කියලා අධ්‍යනය කිරීම. මාස 02ක කාලයක් දිවයින පුරා සැරිසරලත් පුවක් අක්කර දෙකක ප්‍රමාණයක්වත් වගාවක් විදිහට සිදුකරපු ඉඩමක් හොයාගන්න ලැබුණෙ නැහැ.
ඊට පස්සේ මම අපගේ නිලධාරීන්ට උපදෙස් දුන්නා රටේ විවිධ පළාත්වල පැසුණු පුවක් ඉති කපාගෙන එන්න කියලා. එසේ ගෙනෙන ලද පුවක් ගෙඩිවල ප්‍රමාණයයි, අස්වැන්නේ ස්වභාවයයි පිළිබඳ පරීක්ෂණ කළා. ඒ වගේම පරිසරය කොහොමද පුවක් වගාවට හා ඵලදාවට බලපාන්නේ කියන කාරණයත් නිසි පරීක්ෂාවට ලක් කළා. බදුල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල, මාතලේ සහ කළුතර ආදි ප්‍රදේශවලින් තමයි අපි නියැදි එකතු කළේ.
අපි නිරීක්ෂණය කළා තත්ත්වයෙන් උසස් හොඳම පුවක් අස්වැන්න ලැබෙන්නේ මොන පළාත්වලින්ද කියලා. බදුල්ල, මහනුවර හා මාතලේ ප්‍රදේශවලින් තමයි හොඳම අස්වැන්න ලැබෙන්නෙ. එක පොකුරට පුවක් ගෙඩි 200 ක ඵලදාව තිබෙන මෙන්ම ගෙඩි 50 - 75 ඵලදාව ලැබෙන පුවක් වගාවන් නිරීක්ෂණයට ලක්වුණා. එමෙන්ම කරුංකා කිලෝවකට පුවක් ගෙඩි කීයක් අල්ලනවා ද කියලා අපි පරීක්ෂණ කළා. එසේ වැඩිම ඵලදාවක් තියෙන පුවක් බීජ තෝරාගෙන පර්‌යේෂණයක් විදිහට පැළ අසූදාහක් රෝපණය කළා කටුනායක ආඬිඅම්බලමේ. ඒ පැළ තවාන තවම තියෙනවා.
අපි කළ පර්‌යේෂණයන්ට අනුව අනාවරණය වුණේ ලංකාවෙන් වාර්ෂිකව නිෂ්පාදනය වෙන්නේ කරුංකා මෙට්‍රික් ටොන් දොළොස්දාහක පමණ ප්‍රමාණයක් බවයි. දේශීය පරිභෝජනයෙන් අනතුරුව මෙට්‍රික් ටොන් අටදාහක පමණ ප්‍රමාණයක් තමයි අපි අපනයනය කරන්නේ.
එනමුත් කරුංකා ප්‍රති අපනයනයේදී මෙට්‍රික් ටොන් හතළිස්දාහක ප්‍රමාණයක් අපනයනය කරපු අවස්ථා තිබිල තියෙනවා. කරුංකා අපනයනය සම්බන්ධයෙන් අත්දැකීම් ලබා ගන්න දේශීය වශයෙන් කරුංකා එකතු කරලා කන්ටේනර් 02ක් ඉන්දියාවට අපනයනය කළා. එම අපනයනයේ දී අපි අපනයනය කරපු එක කරුංකා මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 3750ක් අපට හිමි වුණා. ඒ විදිහට බලපුවම කරුංකා මෙට්‍රික් ටොන් හතළිස්දාහක් වාර්ෂිකව අපනයනය කළහොත් දළ වශයෙන් ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලංකාවට ලැබෙනවා.
ඒ වගේම අපේ පර්‌යේෂණයේ දී අපි ගම්වලට ගිහින් වයසක ආච්චිලා, සීයලාගෙන් පුවක් වගාව පිළිබඳ තොරතුරු ලබා ගත්තා. ඒ අය කියපු දේ තමයි මේ පුවක් ගස් ගමේ ගොඩේ බඩවැටිවල කිසිම සාත්තුවක් නැතිව අවුරුදු 30-40ක් වැවුණු ඒවා බව, අපි පොඩි කාලෙත් මේ ස්ථානවල පුවක් ගස් මේ විදිහටම තිබුණ බවයි. පුවක් ගසේ විශේෂත්වය තමයි පුවක් හිටෙව්වට පස්සේ ශාකයට කුරුමිණියන් ආදී කෘමීන්ගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. බෙහෙත් පොහොර යොදන්න වෙන්නෙ නෑ. වගාව බලාගන්න කියා විශේෂ මහන්සියක් වෙන්න අවශ්‍යත් නෑ.
අපි සැලසුම් කළා අක්කරයකට පුවක් ගස් 500 ක් සහිතව අක්කර පහළොස් දාහක වගා කරන්න. එක අක්කරයක් බලාගන්න කෙනෙකුට මාසෙක අපි රුපියල් 50,000/- ගෙවන්නත් අපේ සැලසුමේ තිබුණ. අපි හදල තිබුණු සැලැස්මේ හා සිදුකරපු පර්‌යේෂණ අනුව පුවක් අක්කරයකින් අපේක්ෂිත වාර්ෂික කරුංකා අස්වැන්න මෙට්‍රික් ටොන් 2.25 ක්. කරුංකා මෙට්‍රික් ටොන් 1 ක් අපනයනයෙන් අපේක්ෂිත ආදායම වුණේ ඇමරිකානු ඩොලර් 3750 ක්. ඒ අනුව මෙට්‍රික් ටොන් 2.25ක් අපනයනයෙන් අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් 8437ක්. එය ශ්‍රී ලංකා මුදලින් මේ ෙවන විට රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක්.
අපේ සැලසුම අනුව අක්කර 15000ක පුවක් වගා කළා නම් අපිට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන126ක් එනම් රුපියල් බිලියන 37ක පමණ මුදලක විදේශ විනිමයක් උපයන්න තිබුණ.
ඒ වගේම මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණ තමයි පුවක් අක්කරයකින් ලැබෙන ලාභය, පොල් අක්කරයකින් ලැබෙන ලාභය මෙන් දස ගුණයකටත් වඩා වැඩියි. අක්කරයක වගා කර ඇති උපරිම පොල් ගස් ප්‍රමාණය 70 ක් පමණ වෙනවා. පොල් පර්‌යේෂණ ආයතනයේ කප්රුක අත්පොත අනුව සමස්තයක් ලෙස පොල් ගසකින් වසරකට ගෙඩි 50 ක් ලැබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව ගණනය කළ විට පොල් අක්කරයකින් ලැබෙන වාර්ෂික ආදායම රුපියල් තුන් ලක්ෂ පනස්දාහක් (රු. 350,000/-) පමණ වෙනවා. එනමුත් පොහොර මිල, සේවකයන් වැටුප් ගෙවීමෙන් අනතුරුව ඉතිරි වෙන්නේ රුපියල් ලක්ෂයක් (රු. 100,000/-)
වගේ ප්‍රමාණයක්.
මේ අපේ පුවක් වගා කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරන්න අක්කර 10,000 ක් රජයෙන් ඉල්ලුවා. පළමුව මට ලැබුණා මහවැලි අධිකාරියේ මාදුරුඔය ප්‍රදේශයෙන් අක්කර 4000ක් සහ කන්දකාඩු ප්‍රදේශයෙන් අක්කර 1000ක්. එම ඉඩම් ලැබීමට අදාළ අනුමැතීන් සහිත ලිපි මේ සමග ඉදිරිපත් කරනවා.
පුවක් වගා කරලා අස්වැන්න ලැබෙන්න අවුරුදු 4ත් 5ත් අතර කාලයක් ගතවෙන නිසා, එසේ ලැබෙන ඵලදාව අපනයනය කිරීමට අවශ්‍ය වෙළෙඳපොළ රඳවා තබා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා අපි සැලසුම් කළා කරුංකා ආනයනය කරලා සියයට 35කට නොඅඩු අගය එකතු කරලා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන්න.
ඒ සඳහා රුපියල් මිලියන 120ක් විතර වියදම් කරලා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගෙනැල්ලා කරුංකා පිරිසැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කළා. මේ කටයුතු සඳහා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමට අනුව විශාල පිරිවැයක් දරා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද, එවකට සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම ව්‍යාපෘතියට අවසර දුන්නෙ නෑ. ඒ නිසා එම ව්‍යාපෘතිය අතරමග නතර වුණා. නමුත් අපි මෙම ව්‍යාපෘතිය සඳහා රෝපණය කරන ලද පුවක් පැළ අසූ දාහක් පමණ තාමත් තියෙනවා. මේක තමයි ලංකාවේ තත්ත්වය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා නම් මාසිකව රුපියල් 50,000/- ක් වැටුප් ලබන රැකියා අවස්ථාවන් 15000ක බිහිවෙනවා වගේම වසරකට විදේශ විනිමය රුපියල් බිලියන 37ක පමණ උපයන්න තිබුණා. එහෙත් ජාතියේ අවාසනාවට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අවසරය ලබා දුන්නෙ නැහැ.
2021 වර්ෂයේ සිට අප සමාගම විසින් කරුංකා නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කළත් එම ව්‍යාපෘතිය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට (BOI) වෙත භාරදීමට බලධාරීන් කටයුතු කළා. මේක රටට විදේශ විනිමය ලැබෙන ඉතාම යහපත් ව්‍යාපෘතියක්. මොන රජයක් යටතේ වුවත් ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපාරයක්.