කොටි පොලිසියෙන් මිදී සාසනයට වැඩි සුමන හාමුදුරුවෝ


දශක තුනක් පුරා රට භීතියට හා සන්ත්‍රාසයට පත් කළ, අහිංසක මිනිසුන්ගේ ජීවිත අහිමි කළ වේලු‍පිල්ලේ ප්‍රභාකරන් උත්සාහ කළේ ලේ වැගිරීමෙන් ඊළාම් රාජ්‍ය දිනා ගැනීමටය. ඒ අනුව ඔහු තමා යටතේ පැවති ප්‍රදේශවලදී වෙනම අධිකරණ පද්ධතියක්, වෙනම නීතියක්, වෙනම අධ්‍යාපන පද්ධතියක් සකස් කළේය. එපමණක් නොව ප්‍රභාකරන්ගේ ඊළාම් නීතියට යටත් වූ පොලිසියක් ද ස්ථාපිත කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාව මාතෘ භූමියේ ඒකීයත්වය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කළ ප්‍රධානතම මෙන්ම දීර්ඝතම ක්‍රියාන්විතයක් ලෙස ජයසිකුරු මෙහෙයුම හැඳින්විය හැකිය. ජයසිකුරු මෙහෙයුමේ අවසන් කාලපරිච්ඡේදයේ එනම් 1999 වසර වෙනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ගමේ තරුණයෙකු වූ ඩී.එම්. විජේසිංහ යුද හමුදාවට එක්විය. යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්ව කොටි ත්‍රස්තවාදී පොලිසියක් තුළ සිර අඩස්සියට පත්විය. ඔහුට එහිදී එල්.ටී.ටී.ඊ. පොලිස්පති ලෙස කටයුතු කළ බාලසිංහම් නඩේසන්වද ඇසුරු කිරීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ඔහු තමන් විඳි අත්දැකීම් මෙසේ පවසා සිටියේය. වසර 25 කට පසු ඉරිදා ලංකාදීපයට හමුවන ඔහු, මේ වෙනවිට පැවිදි දිවියට පත්ව සිටියි. උන්වහන්සේ නමින් ඇකිරියේ විජේසුමන හාමුදුරුවන් ය.


“මම සාමාන්‍ය පෙළ විභාගය ලිව්වට පස්සේ ඉඳලා තිබුණ ආසාවක් තමයි යුද හමුදාවට සම්බන්ධ වෙලා රටට යම් සේවයක් කරන්න ඕන කියන ආකල්පය. මම වයස 18 දී සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වෙලා හමුදාවට සම්බන්ධ වුණා. ජයසිකුරු මෙහෙයුම සිදුකළ කාලයේ තමයි මම හමුදාවට සම්බන්ධ වුණේ, යුද හමුදාවේ 9වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක රෙජිමේන්තුවට අනුයුක්තව මම සම්බන්ධවෙලා හිටියා. මම ඕමන්තේ ඉදිරි ආරක්ෂක වළල්ලේ හිටියේ, ඒ කාලයේ තමයි සාම ගිවිසුම ක්‍රියාවට නංවලා තිබුණේ. සාම ගිවිසුම කාලෙ කිසිම බාධාවක් නෑ, යන්න එන්න පුළුවන්. ඒ දවස්වල බංකර් හදන්න කොටන් කපන්න යනවා. මෙහෙම කැලෑවට යන ගමනේදී මම කැලෑව ඇතුළේ අතරමං වුණා. මගේ අතේ තිබුණේ ටී 56යි. පතරොම් 30 යි විතරයි. කොහොම හරි කැලෑව ඇතුළටම ගිය නිසා මං අතරමං වෙලා දවස් 5 ක් කැලෑවේ හිටියා. කෑම නැතිව පස්වෙනි දවස වෙනවිට මම හාමත් වෙලා හිටියේ. තුවක්කුව උස්සගන්නවත් පණ තිබුණේ නැහැ.”
“පස්වෙනි දවසේ මට ඡායාවක් වගේ පේනවා සිවිල් ඇඳුමෙන් සැරසුණු තුන් දෙනෙක් මගේ ළඟට එනවා. ඒ ආපු අයගෙන් මම ඉල්ලු‍වේ මට කන්න දෙන්න කියන එක විතරයි. ඒ අය අපේ භාෂාවෙන් කිව්වේ බය වෙන්න එපා කියලයි. ඊට පස්සේ මාව ගමකට ගෙනගියා. එහිදී මං සිහිය නැතිවෙලා වැටුණා. මට සිහිය එද්දී මාව වටකර ගත්ත කට්ටියක් ඉන්නවා. සිවිල් අය වගේම එල්.ටී.ටී.ඊ. යුනිෆෝම් එකෙන් සැරසුණු දෙතුන් දෙනෙක් හිටියා. මගෙන් ප්‍රශ්න කරා. මං කිව්වේ, මම ට්‍රේනින් මාස 4 යි. ලයින් එකට ඇවිල්ලා සතියයි. මට ඉන්න බැරි නිසා පැනලා ගියා කියලා. ඊට වැඩිය හමුදාව ගැන විස්තරයක් කියන්න මම දන්නේ නැහැ කිව්වා. යුනිෆෝම් එකෙන් හිටපු දෙන්නෙක් මාව බයිසිකලේක නග්ගගෙන මාව ගෙනගියේ කිලිනොච්චිවලට. ඒ කියන්නේ, කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. පොලිස් කාර්යාලයට.”


එසේ ගෙනගිය විජේසිංහව ඉදිරිපත් කළේ පොලිසියේ ප්‍රධානියා ‍වෙතය. පොලිසියේ ප්‍රධානියා විජේසිංහට කතා කළේ පුතා යන ආමන්ත්‍රණයෙනි. විජේසිංහගෙන් පෞද්ගලික තොරතුරු විමසූ එල්.ටී.ටී.ඊ. පොලිස් ප්‍රධානියා පසුව සඳහන් කළේ මටත් ඉන්නවා පුතෙක්, එයාට වයස 17 යි. කියලා. එසේ සන්සුන්ව කතා කළ පොලිස් ප්‍රධානියා, පසුව තර්ජනාන්විතව අසා සිටියේ, ‘‘මට ඇත්ත කියන්න ඔයා අපි ගැන ඔත්තු බලන්නද ආවේ නැත්නම් ඇත්තටම කැලෑවේ අතරමං වුණාද?’’ යනුවෙනි. විජේසිංහ සත්‍යම පැවසුවේය. ‘‘කලබල කරන්න, පැනලා යන්න හදන්න එපා. වටේටම ඉන්නේ අපේ කට්ටිය වෙඩි කන්න වේවි.’’ යනුවෙන් අනතුරු අඟවා එල්.ටී.ටී.ඊ. පොලිස් නිලධාරියා පුටුවෙන් නැඟී සිටියේය. “තමුන්ගේ මානසික මට්ටම ගැන හිතලා තමුන්ව හිර කරලා තියන්නෙ නැහැ.” යනුවෙන් අවසානයේ පවසා ඔහු යන්නට ගියේය. මෙසේ විජේසිංහ සමග කතා කළ සම්පූර්ණ කාලය තුළම එල්.ටී.ටී.ඊ. පොලිස් ප්‍රධානියා කතා කළේ සිංහල භාෂාවෙනි. විජේසිංහටත් පුදුමයකි. එහෙත් ඔහු තමන් සමග කතා කරන පුද්ගලයා ගැන දැන ගත්තේ පසුවය. ඒ එල්.ටී.ටී.ඊ. පොලිස්පති නඩේසන්ය.
නඩේසන් යනු 1970 දශකයේ කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකි. දමිළ පුද්ගලයෙකු වුවද, ඔහු ප්‍රේමයෙන් බැඳුණේ මාතර කඹුරුපිටියේ උපන් විනීතා ගුණසේකර නම් සිංහල තරුණිය සමගිනි. ඇයද 1976 වසරේදී කාන්තා පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවය ඇරඹුවාය. 1982 වසරේ දී දෙදෙනාගේ හිතුවක්කාර විවාහයෙන් පසුව නඩේසන් තම උපන් ගම වන යාපනයට  තම බිරිඳව කැන්දාගෙන ගියේය. පසුව නඩේසන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙන අතර ඔහු එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ සමීපතමයෙකු වීම නිසා පසුව ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍යයේ පොලිස්පති බවට පත්වන්නේය. එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සේනා බළඇණි අණදෙන්නා යන තනතුර ද හිමිවිය. කෙසේ වුවද ඔහුගේ බිරිය වන විනීතා අවසානය වනතෙක්ම කොන්දේසි විරහිතව තම ප්‍රේමය වෙනුවෙන් පෙනීසිටියාය.
විජේසිංහව අත්අඩංගුවට ගෙන මාසයක් පමණ ගතවී ඇත. නමුත් ඔහුව නිදහස් කරන දිනයක් තවමත් නැත. කාලය මෙසේ ගෙවී යද්දී එල්.ටී.ටී.ඊ. පොලිසියේ සිටි විජේසිංහගේම වයසේ තරුණයෙක් විජේසිංහ සමග හිතවත් විය. විජේසිංහ ඔහු මාර්ගයෙන් තම පෙම්වතියට සියලු‍ විස්තර සහිත ලියුමක් තැපැල් කළේය. ඒ ලියුමෙන් විජේසිංහගේ පවුලේ අය වෙත මෙන්ම හමුදා කඳවුර වෙත ද තමන් පණ පිටින් සිටින බව දැනගන්නට ලැබිණි.
දිනක් පොලිස් කාර්යාලය දෙසට වේගයෙන් බස් රථයක් පැමිණියේය. ඉන් බැස ගත් බහුතර මගීන් සිංහලයෝය. එය පිටුපසින් රතු කුරුසයට අයත් වෑන් රථ දෙකක් පැමිණියේය. මෙතන සිදුවන්නේ කුමක්ද යන්න විජේසිංහට මහත් ගැටලු‍වකි.
“මට කිසි දෙයක් තේරුණේ නැහැ වෙන්නේ මොකක්ද කියලා. බස් එකේ ආව අය වන්දනා නඩයක් කියලා මං තේරුම් ගත්තා. සාම ගිවිසුම කාලය නිසා මිනිස්සු ඒ පැත්තට වන්දනා ගමන් එන්න පටන් ගෙනයි තිබුණේ. නමුත් එහෙම ආව අයව වෙනම වාහනයක පිටත් කොට හැරලා බසයේ රියැදුරු හා සහායකයා විතරක් පොලිසියට ගෙනාවා. මට හිතවත් වුණු එල්.ටී.ටී.ඊ. තරුණයා මාර්ගයෙන් මම දැන ගත්තා, යාපනයට වන්දනාවක් ආව බස් එකට පොඩි ළමයෙක් හැප්පිලා, එහේ මිනිස්සු කලබල කරයි කියන බයට බස් එකේ රියැදුරා බස් එක මෙතනට අරගෙන ඇවිත් කියලා.”


“බස් එකේ රියැදුරා සහ සහායකයා දවල් කෑම කන අවස්ථාවක මට ඔවුන් සමග කතා කරන්න පුළුවන් වුණා. මම මට වුණ සිදුවීම බස් රියැදුරාට කිව්වා. ඔහුගේ නම ඉන්දික. බස් රථ අනතුර ගැන නඩුව එල්.ටී.ටී.ඊ. උසාවියේ විභාග වෙනවා. ඒ නඩුවේ තීන්දුව විදිහට බස් එකේ අයිතිකාරයා ඇවිත් දඩමුදල ගෙවන්න ඕන. එතකොට රියැදුරයි සහායකයයි නිදහස් කරගන්න පුළුවන් කියන නියෝගය තමයි දීලා තිබුණේ.”
“බස් එකේ අයිතිකාරයා ඇවිත් ඒ මුදල ගෙවලා දෙන්නවම නිදහස් කර ගත්තා කියන ආරංචිය මට කොටි හඬ නාළිකාවේ පුවත්වලින් අහන්න පුළුවන් වුණා. එල්.ටී.ටී.ඊ. පොලිසියට ඕන වුණේ මාව දිගටම මෙහෙ තියා ගන්න. ඒ ගැන මට තේරුම් ගියේ ඔවුන් මට පොඩි පොකට් රේඩියෝ එකකුත් දීලා තිබුණා අහන්න. ඒ වගේම තමයි ඔවුන් මට ඉතා හොඳට සැලකුවා. නිදහසේ ඉන්න දුන්නා.” විජේසිංහ ප්‍රකාශ කර සිටියි.
බස් රථයේ රියැදුරු ඉන්දික විසින් විජේසිංහ ගැන ආරක්ෂක අංශවලට හා රතු කුරුස සංවිධානයට කියා තිබිණි. ඒ අනුව රතුකුරුස සංවිධානයෙන් එල්.ටී.ටී.ඊ. පොලිස් ස්ථානයට පැමිණ එහි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. “එදා හවස නඩේසන් ඇවිත් ලෑස්තිවෙන්න කිව්වා ගමනක් යන්න ඕන කියලා. නඩේසන් ගමන් බිමන් ගියපු ජීප් එකේම මාව අරන් ගියා. විශේෂ සිදුවීමක් කියන්න ඕන, නඩේසන් වැඩිපුර ඇහුවේ ජෝතිපාලගේ සිංදු. එයා යන වාහනයේ පවා ජෝතිපාලගෙ සිංදු තමයි දාන්නෙ. මෙහෙම මාව අරගෙන ගිහින් පාළු ගෙදරකට දැම්මා. 

එහෙ දෙතුන් දෙනෙක් හිටියා. ඔවුන් විවිධ චෝදනාවලට වරදකරුවන් වෙලා කොටි පොලිසියෙන් අත්අඩංගුවට අරන් ගෙනාව අය. වයස 70 ක කෙනෙක් හිටියා. එයාගේ වරද පොඩි ළමයෙක්ව දූෂණය කිරීම. එල්.ටී.ටී.ඊ.  අධිකරණයෙන් එයාට දීලා තිබුණු දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම. මාව ගෙනියන්න හෙට ආයෙත් එනවා කියලා කිව්වට ආවේ නැහැ. ‍දැන් මට ඉවසිල්ලක් නැහැ. මොනතරම් සැලකුවත්, හිතවත් වුණත් මට මරාගෙන මැරෙන්න හිතිලයි තිබුණේ. ඒ පාළු ගෙදරටත් එල්.ටී.ටී.ඊ. එකේ අය ආවා ගියා. දවසක් මං දැක්කා අත් බෝම්බයක් තියෙනවා. මං ඒක අරගෙන වැසිකිළියට යනකොට හංගලා තිබ්බා. මෙහෙම දවස් ගෙවුනා. මාව නැවත එක්ක යන දවස කිව්වා. ඒත් මට විශ්වාසයක් තිබුණේ නැහැ. මං යන්න ලෑස්ති වෙද්දි අර අත් බෝම්බයත් අරගත්තා. මට ඕන වුණේ මේ වතාවෙත් මට යන්න නොදුන්නොත් එකෙක්ව හරි මරාගෙන 
මැරෙනවා කියලා.”
“මෙහෙම සතියක් විතර ගියාම නඩේසන් ඇවිත් කිව්වා, යන්න ලෑස්ති වෙන්න කියලා. මම කෝකටත් කියා අත්බෝම්බයත් අරගෙනම තමයි ගියේ. මාව වාහනයක ගෙනියලා පස්සේ මුහුදු කොටි බෝට්ටුවකට බාර දුන්නා. එතැනින් ටික දුරක් ආවට පස්සේ තනි කෙනෙක් හිටපු බෝට්ටුවකට මාව බැස්සුවා. දැන් මට බයක් නැහැ. දැන් මට විශ්වාසයි මට යන්න දෙනවා කියන එක. මම මං හංගගෙන ආපු අත්බෝම්බය හෙමින් සීරුවේ අනෙක් කෙනා දකින්න නැතිවෙන්න මුහුදට දැම්මා. මට පේනවා ගොඩබිමක්. මාව ගෙනාවා තලෙයි මන්නාරම් කලපුවට. මාව ගෙනාපු කෙනා මට මුදල් දුන්නා මග වියදමට.”


“කොහොම හරි මම කොළඹ ආවා. ඇවිත් මං මගේ අයියා නවාතැන් අරන් ඉන්න තැනට ගිහින් වුණ සිද්දිය කිව්වා. ඊට පස්සේ මම හිටපු කෑම්ප් එකේ ප්‍රධානියාට කෝල් කරලා විස්තරේ කිව්වා. මට කෑම්ප් එකෙන් දැනුම් දුන්නා මරදන්කඩවලට එන්න කියලා. ඒ වෙද්දි මාව දැක්ක තැන අල්ලන්න කියලා හැම පොලිසියකටම දැනුම් දීලා තිබුණේ. මාව මරදන්කඩවලින් ඕමන්තෙට අරන් ගියා. එහෙන් මාව හමුදා බාරයට අරන් මාස 8ක් හිටියා. ඒ මාස අට තුළ බුද්ධි අංශෙන් මං ගැන සියලු‍ විස්තර හොයලා තිබුණා. පස්සේ මම මගේ නිල ඇඳුම්වලට හමුදා බඩුභාණ්ඩ සඳහා දඩ මුදල් වශයෙන් රුපියල් 13367 ක් ගෙවන්න කිව්වා. මම ඒ මුදල ගෙවලා හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වුණා.”
එසේ නීත්‍යනුකූලව ඉවත් වූ විජේසිංහට අවශ්‍ය වූයේ මහණ වෙන්නටය. මෙලොව උපදින ඕනෑම මිනිසෙකුට බලාපොරොත්තුවක් ඇත. එය විටෙක නැගිටීමට හේතුවක් වනු ඇත. බලාපොරොත්තු පෙණ පිඬක් සේ වුවත් පිරිසිදු අරමුණක් වී බලාපොරොත්තුව අධිෂ්ඨානය කර ගැනීමට සිත ශක්තිමත් කර ගත යුතුය. ඒ අනුව විජේසිංහගේ එකම අරමුණ වූයේ නොනැවතී ගමන් ගන්නා වූ සංසාර ගමනින් මිදීමයි.
“මම හමුදාවෙන් ඉවත් වෙලා ඇවිත් ටික දවසකින් අම්මාට අංශබාගේ හැදිලා මාස 3 ක් යනකොට මියගියා. එයින් අවුරුද්දකට පස්සේ මගේ තාත්තාත් නැතිවෙනවා. ගෙදර මගේ සහෝදර සහෝදරියෝ විරුද්ධ වෙද්දි මම අලව්ව හබ්බෙලිකන්ද ආරණ්‍යයේ මහණ වෙනවා.’’ ඇකිරියේ විජේසුමන හිමියෝ අතීතය සිහි කරමින් එසේ පැවසූහ.