ගණිතය බාධකයක් කර නොගත් දිරිය පුතෙකුගේ කතාව


මම ඉගෙනගත්තේ ගොඩාක් මහන්සිවෙලා මම ඉඩම්වල ගිහින් උක් ගස් කැපුවා. කුඹුරු වැඩ කළා. ගොයම් කැපුවා. නොකරපු දෙයක් නෑ. එහෙම මහන්සිවෙලා තමයි සල්ලිහොයාගෙන පංති ගියේ.

විදුහල්පතිතුමා සමග තිළිණ 

 

තමන් හමුවට පැමිණෙන ඕනෑම බාධාවක් ජයගෙන තම අරමුණූ කරා යාමට හිත දැඩි කර  ගැනිමට සමත් නම්, ජයග්‍රහණය තමන් පසු පස පැමිණෙන බවට අපි දනිමු. මීට  හොඳම උදාහරණය සපයන්නේ, මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පදිංචි තිලිණ ධනංජය සිසුවාය.
ලංකාවේ පාසල් අධ්‍යාපනයෙහි පවතින කඩයිම් විභාග අතුරින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හැදෑරීමේදී සාමාන්‍ය පෙළ  ගණිත විෂය සමත් වීම අනිවාර්ය කරුණක්. බුත්තල යුදඟනාව ජනපදයේ පදිංචි තිළිණ ධනංජය 2020 වසරේදී අපොස සාමාන්‍ය පෙළට මුහුණ දුන්නේ කෙසේ හෝ ජෛව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට  දැඩි බලාපොරොත්තුවකිනි. එහෙත් සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වීමත් සමග ජෛව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට සිටි තිළිණගේ ඒ සිහිනයට ළඟා වීම සිහිනයක් බවට පත් වන්නේ සියලු බලාපොරොත්තු බොඳ කරමිනි.  
2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ බොහෝ දරුවන් විභාගය උසස් ලෙස සමත්වුවද, ඒ බොහෝ දෙනෙකුට වඩා  වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් බුත්තල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි , ඌව පැල්වත්ත නවෝද්‍යා පාසලේ උසස් පෙල හැදෑරූ තිළිණ ධනංජය සමාජ මාධ්‍යය තුළ මිලියන ගණනක් කතාකරන චරිතයක් බවට පත්වුයේ, මෙවර උසස්පෙළ තාක්ෂණ විෂය ධාරාවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය ලබාගැනිමට සමත්වීමත් සමගය.
තිළිණගේ ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් ලෙස සුවිශේෂ වන්නේ සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වුවත් , සියලු පාසල්වලින් ප්‍රතික්ෂේප වුවත්  පැල්වත්ත නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පති වී. මු. නන්දසේන මහතා ඔහුව පාසල‌ට භාරගෙන ඔහුට උසස්පෙළ හදාරන්නට අවස්ථාව 
ලබාදීම නිසාය. 
" මට තාක්ෂණ විෂය කරන්න ලොකු ආසාවක් තිබුණා. නමුත් මගේ ප්‍රතිඵලවලට අනුව මට තාක්ෂණ විෂය කරන්න බෑ කියලා මම ගියපු ගොඩාක් පාසැල්වලින් මට කිව්වා. ගණිතය සහ ඉංග්‍රිසි භාෂාව අසමත්. විද්‍යාව විෂයට තිබුණේ එස් සාමාර්ථයක්.  මට තිබුණේ වැඩ හයයි සම්මාන තුනක් විතරයි. උසස්පෙළ කරන්න තිබු ආසාව නිසාම අවට පාසැල් කිහිපයකටම මම අයදුම් කළත් මගේ ප්‍රතිඵල බලලා ඒ පාසල් මාව ප්‍රතික්ෂේප කළා. නමුත් පැල්වත්ත විද්‍යාලයේ විදුහල්පති නන්දසේන සර් මුණගැහුණ වෙලාවේ මට ළඟට කතා කරල කිව්වා, 
"පුතේ උඹ පේල් වුණේ ගණන් විතරයි ජිවිතේ පේල් නෑ- ඒක  නිසා උඹ මේ ඉස්කෝ​ෙල  කැමති දෙයක් කරගනින් කියලා කිව්වා" . 
පාරාජිත වූ මනසින් සිටි තිළිණගේ ඉහේ මල් පිපුණේ ඒ වදන් 
කිහිපයත් සමගය.
‘‘ගණන් අසමත් වීමත් එක්ක මම හිටියේ ජීවිතේම පරාජය වූ හැඟීමෙන් ලොකු මානසික පීඩනයක. මම හිතුවෙම මට උසස් පෙළ කරන්න ලැබෙන එකක් නැහැ කියලා.  ඉස්කෝලවලින් මාව භාරගන්න බෑ කිව්ව වෙලාවෙ ලොකු සර්ගේ කතාවෙන් මට අමුතු ජවයක් ආවා . මගේ තිබුන ආසාව වැඩි වුනා.  මම හිටපු තත්වයත් එක්ක ලොකු සර් ගේ ඒ වචන ටික ලොකු ශක්තියක් වුණා. මට උසස් පෙළ කරන ගමන් ගණිතය  පාස් කරලා දෙන්න කියලා සර් මට කිව්වා. එහිදී මම ඉන්න තත්ත්වය ගැනත් මම සර්ට  කිව්වා. ඒ කතාව අහලා වෙනත් උදව්වක් තියෙනව නම් මට කියන්න කියලාත්  කිව්වා. මම උසස් පෙළ කරන ගමන් ඉස්කෝලේ සවස ගණන් පංතිවලට සම්බන්ධ වුණා.  මට උසස් පෙළ කරන්න දුන්න දවසේ ඉඳලා මම දවසට නිදාගත්තේ පැය තුනයි . විභාගේ අවසන් වෙන තුරුම මම කාලය අපතේ යැව්වේ නෑ . උපරිම මහන්සි වුනා. ගණන් විෂය සමත් කරලා දුන්නා. දෙවන වර ගණන් විෂයට බී සාමාර්ථයක් ගත්තා. ඒ  වගේම උසස් පෙළ විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් පෙන්නලා සර් ගේ නම්බුව ආරක්ෂා කරනවා කියලා මම එදා හිතාගත්තා.’’
තිළිණට තම අරමුණට යාම හිතන තරමටම පහසු වූයේ නැත. අධ්‍යාපනයට උනන්දුව කැපවීම සියල්ල තිබුණත් ආර්ථිකය ඊට හරස් විය. 
"  මගේ දෙමාපියන්ට  අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය වෙලාවල්වලට මට දෙන්න  සල්ලි තිබුණේ නැහැ. මම අම්මලාට කරදර කළෙත් නැහැ. මම ඉඩම්වල ගිහින් උක් ගස් කැපුවා, කුඹුරු වැඩ කළා, ගොයම් කැපුවා. නොකරපු දෙයක් නෑ. එහෙම මහන්සිවෙලා තමයි සල්ලි හොයගෙන පංති ගියේ.  සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනකොටත් වත්තක උක්ගස් කපනවා. උසස් පෙළ ප්‍රතිඵල එනකොටත් වත්තක උක් ගස් කපමින් හිටියේ. මට ගොඩාක් සතුටුයි, මේ ලැබුණු ප්‍රතිඵලය ගැන. ඒ ප්‍රතිඵලය මට කියන්න මාව හොයගෙන ආවේ,  මගේ  හොඳම යාලු‍වා, දිස්ත්‍රික්කෙන් 12වෙනියා වූ  ඩී. එම්. චාමික විරංග.
අපේ ඉස්කොලේ  තාක්ෂණ  විෂය කළාට අපට පහසුකම් තිබුණේ නෑ. පොඩි පංති කාමරයක් තිබුණේ. ඒකේ සිවිලිම කැඩිලා වහිනකොට තෙමෙනවා. කිසිම පහසුකමක් නෑ අඩුම තරමේ පරික්ෂණවලදි මොනවත් කපන්න  පිහියක්වත් තිබුනේ නෑ. හැබැයි අපිට උගන්වපු ගුරුවරැ අපිව ඒ අයගේ සල්ලිවලින් මල්වත්තාවල ජාතික පාසල හා දුටුගැමුණූ ජාතික පාසලට එක්කගෙන ගිහින්, ප්‍රා යෝගික පරීක්ෂණ කරලා දුන්නා.  යුජිනි හේරත් ටීචර් වගේම  විමන්සි ටිචර්  ඉස්කොලේ ඉඳන් කරපු කැපකිරිම මේ වෙලාවේ ආදරයෙන් සිහිපත්කරන්න ඕනේ  .කිසිම වෙලාවක දැනුම අඩු නොකර,  දන්න හැමදේම තේරෙන විදිහට කියලා දුන්න  සංජුක සර්  , තුසිත සර්ලවත් මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා. 
මගේ එකම බලාපොරොත්තුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙන්න. කවදා හරි උපාධිය සමත් වෙලා මම ඉගෙන ගත්ත පාසලට,    ගම් පළාතට සේවයක් කරන්නයි ඕනේ. 
මම 2025, 2026 විභාගයට සුදානම් වෙන නංගිලා මල්ලිලාට කියන්නේ කිසිම වෙලාවක තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේදි ලැබෙන ප්‍රතිඵලය මත  හැමදේම තීරණය කරන්න එපා. අභියෝගවලට මුහුණ දෙන්න.කාලය ඉතාමත් වැදගත්. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. මම ඒක ඔප්පු කරලා පෙන්නුවා . මගේ පාසලේ විදුහල්පතිතුමා නන්දසේන  ලොකු සර් නොහිටින්න මම බෝක්කු ගානේ රස්තියාදු 
ගහගහ ඉඳීවි.
තිළිණගේ මව වන කාන්ති මහත්මිය අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.
 මගේ ලොකු පුතාගේ ජයග්‍රහණය ගැන අපිට කියාගන්න  බැරි සතුටක් තියෙන්නේ. එයා වෙනුවෙන් මම වියදම් කරපු හැම රුපියලකටම උපරිම සාධාරණයක් කරලා තියෙනවා. පුතා සැලසුමකට අනුව පාඩම් කළේ. ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා හවස  හය විතර වෙනකොට එයා පාඩම් කරන්න පටන්ගන්නවා. බත් කටවල් දෙකයි නැත්නම් තුනයි කන්නේ. මම පාන්දර 1-2 විතර වෙනකම් එයා ළඟින් ඉන්නවා . එයා ඉගෙනගත්ත දේවල්  බොඩ් ලෑල්ලක ලියලා අපිට උගන්වනවා . අපි ප්‍රශ්න අහන්න ,නැත්නම් පොත් බලාගෙන උත්තර දෙන්න ඕන. සමහර බැරිවෙන ගණන් පුබුදු පුතාගෙන් අහගන්නවා. පොඩි පුතත් හරිම දක්ෂයි. ඔලිම්පියාඩ් තරගවලින් සමස්ත ලංකා තරගවලට පවා සහභාගි වෙලා තියෙනවා .
 පුතා හොඳට කාලය කළමනාකරණය කළා. එයා හැමදාම  නිදාගත්තේ පැය දෙක තුනයි . නිදාගන්න නාන්න කන්න කාලයක් ගත්තේ නෑ. ආර්ථික අපහසුතා කොච්චර තිබුණත්, මම කිසිම අඩුපාඩුවක් කළේ නෑ . මම දෙන සල්ලි මදි වුනාම උක්ගස් කපන්න යනවා . කුඹුරුවල ගොයම් කපන්න යනවා . මම  පුතා පොඩි දවස්වල ඉඳලා එයාට රුපියල්  විස්ස විස්ස දුන්නා. එයා දවසක් මට කොම්පියුටරයක් ගන්න උවමනා බව කිව්වා. මං ළඟත් සල්ලි තියෙනවා කියලා මට රුපියල් දාහදාහක් ගෙනල්ලා දුන්නා . විස්සේ කොළවලින්.  එයා එයාට ඕන දේවල් ගන්න අපිට කවදාවත් කරදර කෙරේ නැහැ. නැති බැරිකම් කොච්චර තිබුණත් ඒ දේවල් ගැන කවදා ත් දුකු වුනේ නෑ තියෙන දෙයි එයා පිරිමහත්තා.  දැන් එයා බයෙන් ඉන්නේ කැම්පස් යන්න සල්ලි හොයාගන්න  බැරි වෙයි කියලා . 
පැල්වත්ත නවෝද්‍යා විද්‍යාලයේ  විදුහලපති ඩබ්. එම්. නන්දසේන මහතා - 
ගණිත විෂය අසමත් වූ පමණින් දරුවෙකු අසමත් වෙන්නේ නෑ . එවැනි දරුවන් ගේ සැඟවුණු දක්ෂතා විශාල ප්‍රමාණයක් තියෙන්න පුළු‍වන් .සම්මුඛ පරීක්ෂණයට ඇවිත් මට කතා කරපු  තිළිණ පුතා දක්ෂ දරුවෙක් කියන වග පළමු දවසෙම මට ඔහුගේ කතාබහ අතරතුර දැනුණා. ඒ නිසාම මම ඔහුට අපේ පාසලේ තාක්ෂණ විෂය ධාරාව හදාරන්නට අවස්ථාව ලබාදුන්නා. ඔහු පෞද්ගලිකව ඔහුගේ ජිවිතයට වගේම අපේ පාසලටත් ලොකු ගෞරවයක් කීර්තියක් ලබාදීලා තියෙනවා. පහසුකම් අවම වුනත්, අපේ ගුරුවරුන් අවශ්‍ය මගපෙන්වීම වගේම, විෂය දැනුම  නොඅඩුව ලබාදෙන්නට සමත්වුනා. ඔහු වගේම දිස්ත්‍රික්කයෙන් 12වැනියාත් අපේ පාසලේ ඉන්නවා . ඒ වගේම කලා අංශයෙන්, වානිජ අංශයෙන් එවැනි දක්ෂතා පෙන් වවූ දරුවන් රැසක් ඉන්නවා. තාක්ෂණ විෂය හැදෑරිමට අවශ්‍ය ශාලා පහසුකමක්, පරීක්ෂණ කරන්න පහසුකමක්වත්  නැතුව පිට පාසල්වලට ගිහින් තමයි ප්‍රායෝගික පරීක් ෂණ කොටස් සම්පුර්ණ කරගන්නේ. පාසලේ ඒවාට අවශ්‍ය පහසුකම් නොමැතිවීම විශාල අඩුපාඩුවක්.  විශේෂයෙන්ම පහසුකම් අවමව හෝ නොමැතිව,  විද්‍යාලයට කීර්තියක් ලබාදෙන්නට ඇප කැපවූ උසස්පෙළ ඉගැන්වීම් සිදුකළ සියලුම ගුරුමහත්ම මහත්මීන්ට වගේම, දරු දැරියන්ට සුබ පතන්නට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ගණිතය අසමත් මේ වගේ දරුවන්ට පාසැල්වලින් උසස්පෙළ විෂය ධාරාවක් හදාරන්න අවස්ථාවක් ලබාදෙනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා .‍
වැල්ලවාය
අයි. ආර්. ඉන්දික