ජයභාරති ජය ලැබුවාය


වෛද්‍ය කාර්ය මණ්ඩලය

මියගිය ජයභාරතී

අවුරුදු පහළොවක කාලයක් තේ දලු නෙළීමේ නිරතව සිටි කාන්තාවක දික්ඔය දිස්ත්‍රික් මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළේ ඇයගේ මොළේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් නිසාය.ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය​ෙග් මොළය මියගිය බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින්  තීන්දු කරන ලදී.
ඉන් පසු, සැමියාගේ කැමැත්ත ඇතිව ඇයගේ වකුගඩු දෙක සහ අක්මාව සිරුරෙන් ඉවත් කරගෙන,  ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් තිදෙනෙකුට පසුගිය 28 වැනිදා සාර්ථක ලෙස බද්ධ කර ඇත.
ඔවුන් තිදෙනාම මේ වෙන විට සුවය ලබමින් සිටින බව විශේෂඥ වෛද්‍යවරයෙක් ඉරිදා 
ලංකාදීපයට පැවසීය.
මෙම කාන්තාවගේ සිරුරෙන් ඉවත් කර ගත් අක්මාව පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී, මාතලේ රෝහලේ සේවය කරන හෙද නිලධාරි​ෙයකුට ද වකුගඩු දෙක  මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි රෝගීන් දෙදෙනකුටද අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ද බද්ධ කෙරිණ. 
රෝගීන් තිදෙනකුට බද්ධ කිරීම සඳහා වකු ගඩු දෙක සහ අක්මාව  ලබාගත්තේ තලවකැලේ, ග්ලෙනොමෙරා කොටසේ පදිංචිව සිටි ජයභාරතී සුගන්ති (48) නමැති තිදරු මවකගෙනි. 
මොළේ මිය යෑමෙන් පසු යළි ජීවත් කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බව මෙම කාන්තාවගේ සැමියාට කරුණු අවබෝධ කරදීමෙන් පසු ඔහු සිය බිරිඳගේ අවයව පරිත්‍යාග කිරීමේ මහඟු‍ පින්කමට කැමැත්ත ප්‍රකාශ කළ බව එම විශේෂඥ වෛද්‍යවරයා කීය.
මොළේ මියගිය පසු මෙම කාන්තාවගේ  අක්මාව සහ වකුගඩු පරිත්‍යාග කිරීමට කැමැත්ත ලබා දුන් එම කාන්තාවගේ සැමියා වන පෙරුමාල් රවීන්ද්‍ර කුමාර මහතා තලවකැලේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ලංකාදීපයට 
මෙසේ පැවසීය.


“මගේ බිරිඳ 2005 වසරේ සිට අවුරුදු පහළොවක්ම තේ දලු නෙළීමේ නිරතව සිටියා.මීට වසර හතරකට පමණ ඉහතදී සිට ඇය කොළඹ ප්‍රදේශයේ පිහිටි ලොකු රෙදි සාප්පුවක පවිත්‍රතා සේවිකාවක වශයෙන්  සේවය කළා.
මොළේ ඇතිව තිබූ රෝගී තත්ත්වයක් නිසා දික්ඔය ඉස්පිරිතාලේ දැඩිසත්කාර ඒකකයේ දින දොළහක පමණ කාලයක් තිස්සේ සිට ප්‍රතිකාර ලබමින් සිටියා. මගේ බිරිඳගේ මොළය මියගොස් ඇති නිසා නැවත ඇයව ජීවත් කිරීමට නොහැකි බව මා සමග කිව්වා. බිරිඳගේ අවයව අසරණ රෝගීන් වෙනුවෙන් දන්දීමට කැමතිද කියා විමසූ නිසා එයට කැමැත්ත ප්‍රකාශ කළා.බිරිඳගේ සිරුරේ ඕනෑම අවයවයක් ලබා ගන්න යැයි කියා මම දොස්තර මහත්වරුන්ට කිව්වා.බිරිඳගේ වකුගඩු දෙකෙන් සහ අක්මාවෙන් රෝගීන් තිදෙනෙකුට ජීවත් වීමේ වාසනාව උදා වී ඇති බව දැනගත් පසු මමයි දරුවෝ තුන්දෙනයි 
හිත හදාගත්තා.
“මගේ දරුවෝ තුන්දෙනාම තවමත් ඉස්කෝලේ යනවා.  මම පාසල්වලට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන ඒ කටයුත්ත කරගෙන යනවා” යැයිද පෙරුමාල් රවීන්ද්‍ර මහතා කීය.
මෙම කාන්තාවගේ වකුගඩු දෙක සහ අක්මාව ශල්‍යකර්මයක්  මගින්  සිරුරෙන් ඉවත් කරගනු ලැබුවේ  පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ බුද්ධික දසනායක මහතා විසිනි. මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ මොළේ මියගිය අය ගේ ශරීර අවයව ලබාගැනීමේ  ඒකකය විසිනි. හෙද නිලධාරියාට අක්මාව බද්ධ කරනු ලැබුවේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බුද්ධික දසනායක මහතා සහ  ශල්‍ය වෛද්‍ය විශේෂඥ අරීන්ද්‍ර ධර්මපාල 
මහතා විසිනි.


අනුරාධපුර රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට වකුගඩු බද්ධ කරනු ලැබ ඇත්තේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩොනල්ඩ් මහතා විසිනි.
දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී පස්ලි ෆාරුක්, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ මධූෂ සමරසිංහ, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්ෂානි ගලප්පත්ති සහ වෛද්‍ය සමාධි පාලමකුඹුර යන මහත්ම මහත්මීන් මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දී තිබිණි.
අප උපදින්නේ ආගමක් ජාතියක් දැන නොවේ. අප මියගිය පසුව අපේ ශරීරයේ ආගමක් හෝ ජාතියක් නැත. ජයභාරතී දන්දුන් අවයව නිසා අද සතුටින් සිටින්නේ සිංහල ජාතිකයන්ය. එතැනින් එහාට සිතන්නට යැයි අපි ඔබට මතක් කරමු. 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය