රටේ ආර්ථක අර්බුදය යනු මුදල් සංසරණය වීම, බඩු මිල ඉහළ යාම අඩු වීම පමණක්ම නොවේ. එය විවිධ ආකාරයෙන් ජීවිතවලට බලපෑම් කරමින් මුළුමහත් සමාජයේ පැවැත්මට මාරාන්තික අභියෝගයන්ට ලක්කරමින් තිබේ. ඒ බව පැහැදිලි වන්නේ සජීවී දරු උපත් අඩු වී ඇති බවත් ජනගහන වර්ධනය පල්ලම් බසින බවත් විවිධ ක්ෂේත්‍ර විසින් සිදු කරන අනාවරණවලිනි. මේ වන විට 2023 වසරට වඩා 2024 ජනගහන වර්ධනය ඍණ අගයක ඇති බවත් ජනගහනය අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ උපත් අනුපාතය පහළ යෑම බවත් 2019 වසරේ මෙරට වාර්තා වූ උපත් සංඛ්‍යාවට වඩා 2023 සහ 2024 වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව 70,000- 80,000 කින් පහළ ගොස් ඇති බවත් ජන හා සංඛා ලේඛන දෙපාර්තමේන්තු දත්තවලින් වාර්තා වෙයි. මෙයට හේතුව වන්නේ 2021, 2022, 2024 වසරවල විවාහ ජීවිතයට අලුතින් එක් වූ අයගෙන් බහුතරය දරුවන් හැදීම ප්‍රතික්ෂේප කිරීමය.
රටෙහි උපත් අනුපාතය අඩුවීමට බලපාන ප්‍රබල සාධකය වන්නේ රටේ සිදුවන විවාහ ප්‍රමාණය අඩු වීම බව පවුල් සෞඛ්‍ය නිලධාරි සංගමය පවසයි. එයට හේතුව වන්නේ රට තුළ පවතින ආර්ථික හේතු මත නඩත්තුව පිළිබඳ ප්‍රශ්නයක් මතු වීමය. ආබාධිත දරු උපත් ඉහළ යාම මෙන්ම රට පුරා මාතෘ සායනවල ලියාපදිංචියද සැලකිය යුතු ප්‍රමාණයක අඩු වීමක් වී ඇති බව පවුල් සෞඛ්‍ය නිලධාරි සංගමය පවසයි. සායනික මට්ටමින් එන්නත් ලබා ගැනීමද අඩු වී තිබේ. වර්තමානය වන විට එන්නත් ප්‍රතික්ෂේප කිරීමේ මානසිකත්වයක් ඇති සමාජයක් නිර්මාණය වෙමින් පවතී. කොළඹ මහ නගර සභාව තුළ එන්නත් නොකරන දරුවන් වැඩි වශයෙන් වාර්තාවෙයි. මුස්ලිම් ජන කොට්ඨාස එන්නත් ප්‍රතික්ෂේප කරන බවත් මවට විදින රුබෙල්ලා එන්නත ඇතුළුව දරුවන්ට දෙන සියලුම එන්නත් මුස්ලිම් ප්‍රජාව ප්‍රතික්ෂේප කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.
එය එසේ වන්නේ ඇයි? සෞඛ්‍ය අමාත්‍යංශයේ වාට්ටු කළමනාකරණ හා අධීක්ෂණ හෙද සොයුරිය ආර්.එම්.එන්. රාජනායකගෙන් මේ ගැන විමසුවෙමු.
Q දරුවෝ හදන්න අකමැති ඇයි ?
අද ගොඩාක් අය විවාහ වෙන වයස් සීමාව පහු කරලා තමයි විවාහ වෙන්නේ. ඉස්සර අවුරුදු 18 න් 20 න් විවාහ වුණාට දැන් තරුණ තරුණියන් වයස 30 පහුවෙලා විවාහයකට යන්නේ. එයට හේතු ලෙස මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න. දැඩි පවුල් සැලසුම් අනුගමනය කිරීම, සහ විදෙස්ගතවීම් කියන කාරණා හේතු වෙලා තිබෙනවා. විවාහ වුණත් ඔවුන් දරුවන් සෑදීම ප්‍රමාද කරනවා. ඒ වගේම තමයි විවාහ වුණ අලුත ගොඩාක් දෙනා හෝමෝනමය උපත් පාලන ක්‍රම භාවිත කරන්න පෙලඹිලා තියෙනවා. කොන්ඩම් වැනි දේවලට වර්තමානයේ අලුත බැඳපු අය අකමැති නිසා හෝමෝනමය ප්‍රතිකර්ම භාවිත කිරීම ඉහළ ගොස් තිබෙනවා. ගිලින පෙති වර්ග, හෝමෝන තැන්පතු වගේ දේවල් අවුරුදු තුනකට පහකට යොදා ගැනීමට පෙලඹීම වැඩි වෙලා තිබෙනවා.
විශේෂයෙන් බොහෝ විවාහක තරුණියන් තමන්ගේ උපාධිය අවසන් වෙන තෙක් කියලා අවුරුදු තුනකට පහකට හෝමෝන තැන්පතුවක් කරනවා. අවුරුදු පහකට රට යනවා නම් ඒකට ගැළපෙන්න උපත් පාලනයක් භාවිත කරනවා. දරුවෙක් හදන්න තරම් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නැති බව ඔවුන් කියනවා. ආර්ථික වශයෙන් යම්තාක් දුරකට සමහරු ශක්තිමත් වුණත් දරුවකු හදන්න සියලුම වරප්‍රසාද හිමි කරගන්නා තුරු ඉන්නවා. ගොඩක් රාජ්‍ය සේවකයන්ට පළවෙනි පත්වීම දුෂ්කර පළාත්වලට ලැබෙනව නම් ඒ අවුරුදු ගානම දරුවෙකු හැදීම අතහරිනවා. ගොඩක් රජයේ සේවයේ හෝ පෞද්ගලික අංශයේ නිරත කාන්තාවන් ගමට ගිහින් දරුවෙක් හදන තුරු පමා කරනවා. කුලී නිවසක ඉන්නව නම් දරුවෙක් හැදීම අමාරුයි. කොහොම වුණත් සිංහල ප්‍රජාව දෙමළ ප්‍රජාව අතර දරු උපත් සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා. මින් බොහෝ විට සිව් වැනි, පස්වැනි දරු උපතකට යොමු වන්නේ මුස්ලිම් ප්‍රජාව පමණයි. විශේෂයෙන් සිංහල ප්‍රජාව අතර සැලකිය යුතු මට්ටමකට දරුවන් හැදීම අඩු වෙලා තිබෙනවා.
අනිත් කාරණය තමයි වර්තමානයේ අලුත විවාහ වෙන අය අතර මඳසරු බව ඉහළ ගොස් තිබෙනවා. මෙයට හේතුව තවම පර්යේෂණ මට්ටමින් සොයාගෙන නැතත් අපි විශ්වාස කරනවා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ගන්නා ආහාර සහ මත්පැන් මත්ද්‍රව්‍ය වගේම අනවශ්‍ය ලෙස ශාරීරික ව්‍යායාම අභ්‍යාසවල නිතර වීම කියලා. මෙයට පරිසර දූෂණය තත්ත්වයත් ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා.
Q ගැබිනි මව්වරුන් ලියාපදිංචිය අඩු වෙලාද ?
දිවයින පුරා මාතෘසායනවල ගර්භණී මව්වරුන් ලියාපදිංචි වීමේ විශාල අඩුවක් අපි දකිනවා. එයට එක හේතුවක් තමයි පෞද්ගලික අංශයේ වැඩ කරන මව්වරු පෞද්ගලික අංශයේ වෛද්‍ය රක්ෂණ හරහා දරු ප්‍රසූතියට පෞද්ගලික රෝහල්වලට අතුළුවීම. අනිත් ප්‍රධානම කාරණය තමයි රැකියාවට යන ගර්භණී මවක් නම් සායනවල පවතින තදබදය සහ රැකියාවට යාමේ අපහසුව, සෙනසුරාදා දිනවල සායන නොමැති වීම වගේ විවිධ කාරණා මත පදනම් වෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතා නිසාත් සායනවලට පැමිණීම අඩු වෙලා තිබෙනවා. විශේෂයෙන් කොළඹ වතු ආශ්රිත තරුණ පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමත් සමඟ මාතෘ සායනවලට පැමිණීම අඩු වෙලා. මේ විදිහට සායන ප්‍රතික්ෂේප කිරීමෙන් තමයි විකෘති ඇති දරුවන් බිහි වීම වැඩි වෙලා තියෙන්නේ. මාතෘ සායනයේ තියෙන වැදගත්කම බොහෝ මව්වරුන් දන්නේ නැහැ සහ ගණන් ගන්නේ නැහැ.”
එන්නත් ප්‍රතික්ෂේප කළොත් රටින් තුරන් කළ වසංගත රෝග යළි හිස එසවිය හැකියි
Q මෙරට ලක්ෂ 3 ක් පමණ වන වාර්ෂික දරු උපත් සංඛ්‍යාවෙන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් උපත් අාබාධ පෙළෙන බවත් ඒ අනුව විවාහ අපේක්ෂාවෙන් සිටින සියලු කාන්තාවන් විවාහයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගියදා ප්‍රකාශ කළා. බහුතර දරුවන් විකෘති වෙලා ඉපදෙන්නේ ඇයි?
මෙයට ප්‍රධානම හේතුව වන්නේ පරිසර දූෂණය, වගේම මවගේ ගැබ් ගන්න වයස වැඩිවීම, ඒ කියන්නේ අවුරුදු තිස්පහට වැඩිවෙලා තමයි පළවෙනි දරු උපත සිදු කරන්නේ. මව ප්‍රසූතියට පෙර සිට ප්‍රසූතියට නිසි පරිදි සූදානම් නොවීම. නීරක්තිය, ලේ අඩු මවක් වීම, රුබෙල්ලා එන්නත රැගෙන නොතිබීම, මව උසට සරිලන බරින් යුක්ත නොවීම, පෝලික් ඇසිඩ් නොගෙන සිටීම මේ වගේ හේතු බලපානවා. ඒ වගේ හොයා නොගත් හේතු විදිහට අධික පරිසර දූෂණය වගේම මානසික ආතතිය තදින්ම බලපාන බවත් සොයාගෙන තියෙනවා. දරුවෙකු පිළිසිඳ ගත්තට පසුව සති නවයක් ඇතුළත ස්නායු පද්ධතිය වැඩීමට ලක්වනවා. සමහර ගර්භණී කාන්තාවක් සති 9-10 ත් අතර කාලයක් ගිහින් තමයි ෆෝලික් අම්ලය ලබා ගැනීම සිදු කරන්නේ.
ගැහැනු දරුවෙකු විවාහ වීමටත් ප්‍රථම ෆෝලික් අම්ලය ලබාගත යුතුයි. බොහෝ අයට ග්‍රාමීය මට්ටමින් මේ සම්බන්ධව තිබෙන දැනුම ඉතාම අල්පයි. ගොඩක් වෙලාවට අම්මා ගර්භණී කියලා දැනගෙන මුල් සති කිහිපය ගිහින් ඇවිත් තමයි ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කරන්නේ.
ගර්භණීභාවය අපි කොටස් තුනකට බෙදනවා. පළවැනි , දෙවැනි සහ තුන්වැනි ත්‍රෛමාසිකය විදිහට. රුධිර සාම්පල් බලලා පළවෙනි ත්‍රෛමාසිකය අඳුනගන්න කොට බොහෝ මව්වරුන්ගේ ගොඩක් වෙලාවට ලේ අඩුයි, රුබෙල්ලා එන්නත අරන් නෑ, ෆෝලික් ඇසිඩ් එක අරන් නෑ. පළවෙනි ත්‍රෛමාසිකය පටන් ගන්න කලින් අනිවාර්යෙන් මවගේ පෝෂණ තත්වය ගර්භණීභාවය හොඳ මට්ටමක තිබිය යුතුයි. දරුවන් විකෘති වෙලා ඉපදෙන්නේ මෙන්න මේ හේතු නිසා.
ඒ නිසා යුවළක් විවාහ වීමට ප්‍රථම ලේ ආරය යන රෝග වගේම උපත් ආබාධ සහිත දරුවකු සිටින යුවළක් නම් දෙවැනි දරුවා බිහිකිරීමට ප්‍රථම අනිවාර්ය වෛද්‍ය උපදෙස්වලට යොමු විය යුතු වෙනවා.
ආබාධ සහිත කළල ඉවත් කිරීමට සාධාරණ හේතු මත දෙමාපියන්ට අවස්ථා සලසා දීමට අවශ්‍ය නීතිමය තත්ත්වය සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ඒ වගේම තමයි ඔබ කොච්චර නිරෝගී වුණත් විකෘති දරුවන් ඉපදීම කෙරෙහි ඔබ ගන්නා අහාර ද බෙහෙවින්ම බලපානවා. ඊට අමතරව කාන්තාවන් පිරිමි අතර මත්පැන් දුම්වැටි භාවිතයත් විශේෂ හේතුවක් වෙලා තිබෙනවා.
Q ලංකාවේ එන්නත් භීතිකාව ?
“බොහෝ මව්වරුන් සහ යොවුන් පිරිස අතර එන්නත් ප්‍රතික්ෂේප කිරීම නිසා අපේ රටින් තුරන් කරපු රෝග එනම් සරම්ප වැනි තුරන් කරපු රෝග නැවත සෑදීමේ අවදානමක් තියෙනවා. ගිය අවුරුද්දෙහි සරම්ප වසංගතයක් වගේ කොළඹ නගරයේ පැතිරුණා. මේ එන්නත ප්‍රතික්ෂේප කරන ජන කොට්ඨාසය නිසා අනිත් දරුවන් අතරත් වේගයෙන් පැතිරිලා ගියා. මේ වෛරසය පරිසරය තුළ තියෙනවා. පරිසරයෙන් තුරන් කරලා නෑ. නමුත් දරුවන්ගෙ ඇඟේ ප්‍රතිශක්තිය නැති වුණ ගමන් දරුවා රෝගී තත්ත්වයට පත්වෙලා මේ වෛරසය ඇඟට ඇතුළු වෙනවා. මේවා ඉතා ඉක්මනින් දරුවො අතර බෝවෙලා වසංගතයක් බවට පත්වෙනවා. ඒක රටට කැළලක්. වසූරිය වගේ ගොඩක් රෝග රටින් තුරන් කරලා තියෙන්නේ එන්නත්කරණය හරහා. ඉතින් එන්නත්කරණය ඉතාම හොඳින් වෙන ලංකාව වගේ රටක මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කම නිසා තුරන් කර ඇති වසංගත රෝග නැවත පැමිණීමේ අවදානම තිබෙනවා. විශේෂයෙන් සමහර ජන කොට්ඨාස දරුවන්ගේ බුද්ධි වර්ධනයට අදාළ එන්නතවත් නිසි පරිදි නොගන්නා අවස්ථා කොළඹ බල ප්‍රදේශයේ සුලබව තිබෙනවා.
අලුත විවාහ වෙන්නන් අතර මඳසරු බව ඉහළට
Q සෞඛ්‍ය සායනයට නොපැමිණීමෙන් මවට සහ දරුවාට දෙදෙනාටම හානි වෙන්න පුළුවන් නේද?
පවුල් සෞඛ්‍ය සායනයේදී මව සහ දරුවා යන දෙදෙනාම මාස් පතා හරියට නිරීක්ෂණය වෙනවා. විටමින්, ත්‍රිපෝෂ, මුත්‍රා පරීක්ෂණ, උසට සරිලන බර සියල්ල සිදුවෙනවා. මේ දේවල් අතපසු වීමෙන් ඉපදෙන දරුවා නිරෝගී දරුවෙක් නොවෙන්න පුළුවන්. ඒ වගේම මවගේ අසාමාන්‍යතා අඳුනාගන්නේ මේ මාතෘ සායනවලින්. හඳුනාගත් වහාම ඒක නිවැරදි කරනවා. සායන ප්‍රතික්ෂේප කිරීම ලොකු ගැටලුවක්.
නදීශා අතුකෝරළ