එක්දාස් නවසිය තිහ දසකයේ ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහෙමින් වසංගත රෝගයක් වූ මැලේරියාව රට පුරා පැතිර ගියේය. මේ අතර වෛද්‍ය හා සනීපාරක්ෂක දෙපාර්තමේන්තුව මැලේරියා රෝගවලින් වැළකීම පිළිබඳව ජනතාව දැනුම්වත් කර ඇත. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බ්‍රියර් ක්ලිප් මැලේරියා නම් උණ රෝගය ගැන පුවත්පත් මගින් මහ ජනතාව දැනුම්වත් කර ඇත. දිනමිණ පුවත්පතේ ඔහු විසින් ලියන ලද ලිපියක් 1928 අගෝස්තු 28 වෙනිදා මුල් පිටුවේ සඳහන් වී තිබුණි. එහි මුල් ඡේදයක් මෙසේය.
“නිරුක්ති වශයෙන් අශුද්ධ වාතය යන අර්ථාන්විත මැලේරියා නම් සාමාන්‍ය නාමයෙන් වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව ඉතිහාසයෙහි සඳහන් වන වෙන කොයි යම් රෝගයකටත් වඩා ලෝකයේ අර්ථ සංරක්ෂණයට හානි පැමිණෙව් උණ රෝගයක් අඟවනු ලැබේ”
එම ලිපියෙන් කියවෙන අන්දමට යටත් පිරිසෙයින් අවුරුදු 2000 ක් මුළුල්ලේ ලෝකයෙහි නොයෙක් පළාත්වල විශාල නගරවල ද රාජ්‍යවල හා අනුරාජ්‍යවල ද විනාශයට මැලේරියා නම් රෝග උවදුර හේතු වී ඇත. නමුත් මෙම රෝගය කොපමණ කාලයක සිට පැවතුණේ දැයි පැවතුන ද එය හඳුනාගත්තේ කොපමණ කාලයක සිට ඒ හඳුනා ගත්තේ ද කියාත් හරි හැටි කීමට කිසිවෙක් නොදනිති. එහෙත් මුල් කාලවල විසූ ග්‍රීක් රෝමන් ග්‍රන්ථ කර්තෘවරුන්ගේ පොත්වල ඒ ගැන සඳහන්ව ඇත. ඉතා පැරණි හින්දු තන්ත්‍රවලද ඒ පිළිබඳ විස්තර දක්නට ලැබෙන බවත්, මිසර දේශයේ දේවාලවල ලියා තිබෙන පැරැණි ලේඛනවල අඩු තරමින් එක තැනක මෙම රෝගය අවුරුදු පතා නැවත නැවත පැමිණෙන බව සඳහන් කර තිබෙන නිසා පුරාණ මිසරවරුන් මේ රෝගයේ ඇතැම් ලක්ෂණ හොඳින් දැන සිටින්නට ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ලියන ලද ලිපියේ සඳහන් වෙයි.
මඩ වගුරු හා හැල් ආශ්‍රිත ප්‍රදේශවල මේ රෝගය නිරන්තරයෙන්ම පැතිරී ඇත. ඉර බැස්සාට පසු ආරක්ෂාවක් නොමැතිව ගෙන් පිටත යන තැනැත්තන්ට මෙම රෝගය වැලඳෙන බවත්, උස් ඉඩම්, උස් ඉඩම්වල හා සුළං හමන කාලවල එය වැඩිපුර පැතිර නොයන බවත් වාර්තා වී ඇත. ඇතැම් ප්‍රදේශ ගොඩනැගිලි ඉදිකිරීම, පාරවල් සෑදීම ආදී කර්මාන්ත පටන් ගත් විට මැලේරියා උණ රෝගය තදින් පැතිර යන බව දැන ගන්නට ලැබී ඇත.
1935 වසරේ සති හයක් ඇතුළත මැලේරියා උණින් ළමයින් 3,500 ක් මියයාමේ පුවතක් 1935 ජනවාරි 25 සෙනසුරාදා මුල් පිටුවෙන් වාර්තා වී ඇත. එහි මෙසේ ද සඳහන් වී තිබුණි.
‘‘කෑගල්ලෙන් ලැබී තිබෙන අලුත් ආරංචිවල හැටියට එහි තත්ත්වය තවමත් භයානක බව පෙනේ. ආරෝග්‍යශාලාවල හා වතුවල මරුමුවට පත් රෝගීන් හැර කෑගලු දිස්ත්‍රික්කයේ ගම් නියම් ගම්වල පමණක් පසුගිය මාසයේ දී 3,027 දෙනෙක් මළහ. මෙයින් 2,500 පමණ ළදරුවෝය.
මැලේරියා වසංගතය සමග සටන් කිරීමට ලංකා රක්ෂක භට හමුදාවේ සේවය දිගටම කැමති බව යුද හමුදා නායක නිලධාරීන් විසින් ආණ්ඩුවට දන්වන ලද නමුත් සෞඛ්‍ය පාලකයන් එය බාර ගෙන නැති බවත් වාර්තා වේ. මැලේරියා වසංගතය ගැන කොළඹ දී පැවැත් වූ ආණ්ඩුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවේදී වැදගත් ශාස්ත්‍රීය කරුණු සාකච්ඡා කර තිබුණි. මේ අවස්ථාවට මැලේරියා මර්දන ව්‍යාපාරයේ ශාස්ත්‍රීය උපදේශක ලෙප්ටිනන්ට් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්. ක්ලෙමිෂා, වෛද්‍ය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ දොස්තර බ්‍රියර් ක්ලිප්, උපඅධ්‍යක්ෂ දොස්තර ඇස්.ටී. ගුණසේකර, මැලේරියා නාශක ව්‍යාපාරයේ සුපිරිඩැන්ඩන්ට් දොස්තර කේ.ජේ. රස්ටම්ජ් සහ විශේෂ ප්‍රතිෂ්ඨාධාර කොමසාරිස් එච්.ඊ. නිව්න්හැම් යන මහත්වරුන් සහභාගී වී ඇති බව වාර්තා වේ.
එම සාකච්ඡාවෙන් පසු පුවත්පත් කලාවේදියෙක් පෙර දින රාත්‍රියේ මහා ආරෝග්‍ය ශාලාවට ඇතුළත් කර ගත් රෝගීන්ගේ ගණන සහ සිදු වූ මරණ ගණන ගැන ඇසීය. බොහොම කණගාටුයි. පත්‍රවලට තොරතුරු දීමක් නෑ.
වෛද්‍ය සුපිරිටෙන්ඩන්ට්වරයා පුවත්පත් නියෝජිතයාට කීය. පසු දා උදෑසන ඔහු ප්‍රවෘත්ති පත්‍ර වලට කිසිදු තොරතුරක් නොදෙන ලෙස කාර්යාලීය මණ්ඩලයට චක්‍රලේඛ යවා ඇත.
යුද හමුදාවත් මැලේරියා වසංගතයට එක්වීම ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වීමත් වෛද්‍ය නිලධාරීන් එයට එදිරිවීම ගැන පුවත්පත් වාර්තාකරුවෝ අප්‍රසාදයෙන් කරුණු දැක්වූහ. ගංගාවල මදුරුවන් උපදනා ස්ථානයන් මහත් භීතියට හේතු වන පරිදි වැඩි වී ගෙන එන බැවින් මදුරු පිලවුන් සහිත දිය කඩිතිවල තෙල් ඉසීමේ වැඩට හමුදාව යොදා ගැනීම මැනවැයි ඔවුහු විශ්වාසය පළ කළහ.
මේ අතර මහනුවර නගර සීමාව තුළ පිහිටි ගම්වල මැලේරියා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා මැලබාර් වීදියේ ආණ්ඩුවේ පාඨශාලාවෙහි ආයුර්වේද වෛද්‍ය සංගමය විසින් පුණ්‍යාරෝග්‍ය ශාලාවක් විවෘත කෙරී ඇත. ආරෝග්‍යශාලාව විවෘත කිරීමට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුවේ ඒජන්ත පිළිගත් දුම්බර රාජ්‍ය සභා මන්ත්‍රී ඒ. රත්නායක මහතා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අනර්ඝත්වය හා මැලේරියා මර්දනයට වන ප්‍රයෝජනය ගැන කතා කොට ඇත. නාරම්පනාවේ වෙද මුහන්දිරම් මහතා ද අදහස් දැක්වීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරය හැර සෙසු පළාත්වල දෙමාසයක් තුළ මරණ 5,500 ක් පමණ සිදු වී තිබෙන බව 1935 අගෝස්තු 28 වෙනිදා දිනමිණ පත්‍රයේ පළ විය.
කුරුණෑගල ලෙඩ අඳෝනාව මවුවරුන්ගේ දුඃඛිත තත්ත්වය ගැන දිනමිණ මුල් පිටුවේ ඒ ඛේදවාචකය මෙසේ පුවත්පත් කලාවේදියා වාර්තා කොට තිබුණි.
‘‘රෝග භය අඩු වීමේ කිසිම ලකුණක් පෙනෙන්නට නැත. ආරෝග්‍ය ශාලාව ලෙඩුන්ගෙන් පිරී තිබේ. හුස්ම කටක් ගැනීමටවත් ඉඩක් නැත. ලෙඩුන්ගෙන් වැඩි දෙනා ගර්භිණීහු ය. මැලේරියාවෙන් දුර්වල වූ මේ ස්ත්‍රීන් බොහෝ දෙනෙකුට නියම කාලයට ප්‍රථමයෙන් දරුවෝ ලැබෙති. ශරීර දුර්වලත්වය නිසා රාත්තල් දෙක තුනකට වඩා බර නැති බිලිඳුන් සමූහයක් මේ දුර්භාග්‍ය කාලයෙහි මෙලොවට බිහි වන බව පෙනේ.
සමහර ළමයි ආරෝග්‍ය ශාලාවේ ඉස්තෝප්පුවල ද සමහරෙක් මවුවරුන්ගේ ඇඳන් යට ද වැතිර සිටිති. පිරිමි වාට්ටුවල ඇඳන් මතුපිට කෙඳිරිගෑමට පවා ශක්තිය නැතිකමින් හැලහොල්මනක් නැතිව නිදා සිටින පියවරුන්ගේ දර්ශනය ඉතා සංවේගජනකය. ඔවුන්ගෙන් සමහරෙක් අන්තිම හුස්ම හෙළති. නමුත් මේ කිසිවක් නොදත් සදහටම මවුවරුන්ගේ ආශ්‍රයෙන් ඉවත් වූ අහිංසක දරු පැටව් පණ අදින පියවරුන්ගේ අැඳන් යට එළී තිබෙන පැදුරු උඩ ඒ මේ අත පෙරෙළමින් හඬති. අහෝ! මේ දරුවන්ට යන කල දසාව කුමක්ද?’’
1935 ජනවාරි 12 වෙනි දින එංගලන්තයේ මහ රජතුමාගේ සංවේගය විපතටපත් වූවන්ට පිරිනමා ඇත.
ලංකාවේ ඇතැම් කොට්ඨාසවල තදින් පැතිර යන වර්තමාන මැලේරියා වසංගතය ගැන තද සැලකිල්ලකින් හා සංවේගයකින් තොරතුරු විභාග කළෙමි. වසංගතයේ නපුරු අවස්ථාව ඉක්ම ගියේ යයි සිතිය හැකි බැව් වාර්තාවෙහි කියා තිබුණි. එය එසේම වන්නේය යනු මගේ බලවත් විශ්වාසයයි. දුකින් පීඩාවට පත්ව සිටින්නන් කෙරෙහි මගේ හෘදයාංගම අනුකම්පාව පිරිනමන අතරම රෝගය පලවා හැරීම පිණිස සටන් කරන්නන්ගේ උත්සාහය සර්ව ප්‍රකාරයෙන්ම සඵල වේවායි ප්‍රාර්ථනය කරමි.
මැලේරියා අනාථාධාර අරමුදලට ආධාර ලබා ගැනීම සඳහා මැලේරියා මර්දන කොඩි දිනයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳ නිවේදනයක් ස්වදේශ කටයුතු භාර ඇමැති ඩී.බී. ජයතිලක මහතා නිකුත් කර ඇත. ඒ අතර ලෙඩුන්ට සංග්‍රහ කිරීම සඳහා රුපියල් දෙලක්ෂයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.
කෙසේ වුවද මේ කාල පරිච්ඡේදයේ දී මැලේරියා උණ වැලඳී දුර්වල වී සර් ඩී.බී. ජයතිලක මහතා අධික වෙහෙසෙන කාර්යවල නිරතවීම අතපසු වූ අතර ඔහුගේ සාහිත්‍යමය කටයුතුවලට ද බාධා ඇති වූ බව ජයතිලක අපදානයේ සඳහන් වෙයි. ආචාර්ය නන්දදේව විජේසේකර විසින් ලියන ලද එම චරිතාපදානයේ සිංහලට නැඟූ කෘතිය පරිවර්තනය කළ ලලිත් හීන්ගම දක්වයි.
මේ කාලයේ හා 1934 පසු කාලයේ ලංකාවේ මැලේරියා වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වුණි. එය ඉතිහාසයේ දරුණුතම මැලේරියා වසංගයයි. තරුණ, මහලු, බාල වැසියෝ දහස් ගණනින් මියගියෝය. සෞඛ්‍ය පහසුකම් සැලසීම, ආහාර ඇඳුම් පැලඳුම් සැපයීම හා ආර්ථික පුනරුත්ථාපනය කිරීම ආදී කටයුතු ජයතිලක වෙත පැවරිණි. එවකට ඔහු ස්වදේශීය කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළේය. තමාට හැකි උසස් අන්දමින් ඔහු කටයුතු කළ අතර ඔහු ද යළිත් වරක් මැලේරියා රෝගයට ගොදුරු විය.
එයින් පසු සිදු වූ දෑ ඔහු දැන සිට නැත. ඔහු දුර්වල විය. විවේකය අවශ්‍ය විය. එහෙත් විවේකය නොතකා කයිරෝහි පැවැත්වූ සම්මේලනයට සහභාගීවූ ඔහුට යළිත් මැලේරියාව වැලඳුණි. එසේ තිබියදී ඔහු පුද්ගලිකව රෝගීන් බලන්නට ගියේය.
1934 වසරේ දෙසැම්බර් මුල් දෙසතියේ බෝම්බයක් පිපිරුණා සේ රාජ්‍ය මන්ත්‍රණ සභාව දෙදරුම් කා ගිය ප්‍රවෘත්තිය වූයේ මැලේරියා උණ පැතිර යාම බව මහාචාර්ය තිස්ස කාරියවසම් තම කෘතියක සඳහන් කරයි.
එම කෘතියේ එන ආකාරයට මරදානේ පන්සල පාරේ ආනන්ද ගිරි හි සූරියමල් ව්‍යාපාරය මේ අවස්ථාවේ ජනතා සේවයට සම්බන්ධ වන ආකාරය සලකා බැලීමට එක් වූහ. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුලසුනේ සිටියදී සූරියමල් ව්‍යාපාරය ඉටු කළ යුතු කාර්යයන් මෙසේ ගොනු කර ගත්හ.
මැලේරියාවෙන් තදින් පීඩා විඳින ප්‍රදේශවල සහන කටයුතු කිරීම.
එවැනි ගම්වල නිවෙසකට රුපියල් 250 ක් වටිනා ආහාර ලබා දීම.
ෙම් වැඩ කටයුතු භාර ගත් පිරිස මෙසේය. රොබින් එල්. රත්නම්, ඊ.එච්. ද අල්විස් මෙනෙවිය, එස්.ද.එස්. කල්දේරා මහත්මිය, පිලිප් රෝයි, වී.එච්. ගුණරත්න, ආතර් සී. වීරසේකර, වී. ගමගේ මෙනෙවිය, වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ සහ ටෙරන්ස් එන්. ද සිල්වා, මැලේරියා රෝගීන්ට සහනයක් ගෙන ඒමට කැරොල් ගායනයක් අර්නස්ට් ද සොයිසා මහත්මිය සහ ජේ.සී.එම්. ප්‍රනාන්දු සංවිධානය කොට ඇත. මැලේරියා සහන අරමුදල රුපියල් 18856.89 ක් විය.
මැලේරියාවෙන් මියගිය ලාංකිකයන්ගේ සංඛ්‍යාව ගණන එක් ලක්ෂ විසිපන්දාහකැයි අනාවරණය වී ඇත. ඇන්.ඇම්. නම් අපදාන කෘතිය ලියු මලල්ගොඩ බන්ධුතිලක ඇන්.ඇම්. හා මැලේරියාව ගැන තොරතුරු හෙළි කර ඇත.
මැලේරියාවට ගොදුරු වූ තුන් කෝරළයේ ජනතාවට කෑම බීම සහ බෙහෙත් ද රැගෙන ඇන්.එම්. ඇතුළු පිරිස ගෙයක් පාසා ගියහ. කඳු හෙල් පල්ලම් ආදී බාධාවන් පමණක් නොව මුදලි මුහන්දිරම්වරුන්ගේ රැවුම් ගෙරවුම් ද මැඩ ගෙන ගෙයක් ගෙයක් පාසා ගොස් තමනට සාත්තු සප්පායම් කළ කඩවසම් තරුණයා කෙෙරහි සිත් බැඳ ගත් තුන් කෝරළයේ ජනතාව ඇන්.ඇම්. හැඳින්වූයේ ‘පරිප්පු මහත්තයා’ යන ආදරණීය නමිනි.
ඇන්.ඇම්. හා පුරා කියා මැතිවරණ සටනකට ඉදිරි පත් වන විට ඔහුගේ නාම යෝජනා පත්‍රය අත්සන් කළ අතුරලියේ සුවඳා මැලේරියා වසංගත සමයේ ඇන්.ඇම්. කළ කී දේ මලල්ගොඩ බන්ධුතිලකට විස්තර කොට ඇත.
ඒ කාලේ පිලිප් ගුණවර්ධන, ඇන්.ඇම්. පෙරේරා, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ යන මහත්තුරු නොසෑහෙන්න දුක් විඳලා, ගෙයක් ගෙයක් ගාණේ කූඩැල්ලන් කඩ කඩ ගිහින් හාල්, පරිප්පු, මාමයිට්, සිනි තේ කොළ වාගේ දේවල් බෙදලා දුන්නා. ඒ විතරක් නොවෙයි.
සාත්තුවට ෙකනෙක් නැති ගෙවල්වල හිටපු ලෙඩුන්ට කැඳ උයලා පොවපු හැටි මට අද වගේ මතකයි. ඒ දවස්වල ඒ කණ්ඩායමට නතර වෙන්න තැනක් තිබුණේ නෑ. හැමදාම උදේට ඇවිත් ගම්වල ඇවිද ලෙඩුන්ට සාත්තු සප්පායම් කරලා හැන්දෑවට ගිහින් පහුවෙනිදා උදේම ආයෙත් එනවා. සමහර දවස්වල ඒගොල්ලන්ට කන්න මුකුත්ම ලැබුණේ නෑ. ඒ කාලේ හිටිය විජය බේකරියේ මුදලාලි කියලා කෙනෙක්. ඒ බේකරිය පැත්තේ ගියොත් මොනව හරි කන්න බොන්න ලැබුණා.
මැලේරියාවෙන් මියගිය මව්වරුන්ගේ තනයෙන් කිරි උරා බොන ළදරුවන් පවා දුටු අන්දම ඇන්.ඇම්. අපට සිහිපත් කළේ හද කකියන වේදනාවෙන්. පවුල් පිටින් ගම් නියම්ගම් පිටින් විනාශ වළක්වා ගන්නට ඇන්.ඇම්. ඇතුළු සූරියමල් ව්‍යාපාරයේ උද්යෝගිමත් තරුණ පිරිස් සමත් වුණා.
තිහ, හතළිහ, පනහ දසකවල ද මැලේරියා රෝගයෙන් ජනතාව පීඩා වින්දහ. මැලේරියා උණ පෙති රෝගීන්ට ෙදන ලදැයි වැඩිහිටියන් කියනු අප අසා තිබුණි.
1954 වසරේ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන්, ලංකාවේ උතුරු මැද පළාතෙන් මැලේරියාව මුලිනුපුටා ලීම පිළිබඳ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබිණ. මෙය විනාඩි 14 ක ධාවනය වන කළු සුදු මිලීමීටර් 35 චිත්‍රපටයකි.
මේ චිත්‍රපටයේ නම Conquest In The Dry Zone වියළි කලාපය ජය ගනී. මේ චිත්‍රපටය විසින් 1954 Venice Film Festival වැනීසියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ගෞරව ඩිප්ලෝමාවක් දිනාගන්නා ලදි. මේ චිත්‍රපටයේ නිෂ්පාදක ප්‍රෙඩ්රිකෝ එෆ්. සේරා ය. කැමරාව වින්සන්ට් පෙරේරා මෙහෙය වූ අතර සංස්කරණය තුවාන් කෆුර්ගෙනි.
රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවේ විශිෂ්ට නිර්මාණයක් වූ විමලරත්න අධිකාරි අධ්‍යක්ෂණය කළ “ඉසිවර අසපුව” ටෙලි නාට්‍යයට මැලේරියා රෝගින්ට ස්වෙච්ඡාවෙන් සේවය කරන තරුණ වෛද්‍යවරයකු වටා විකාශය විය. වෛද්‍ය සේනක තාඹුගලගේ පරාර්ථකාමී අරමුණ වෙනුවෙන් තම මාපියන් හා පෙම්වතිය පවා කැප කරන මානව දයාවෙන් යුතු චරිතයකි. මේ චරිතය මැලේරියා රෝගීන් වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ සූරියමල් ව්‍යාපාරයේ තරුණ මාක්ස්වාදී තරුණයන් සිහිපත් කරයි. කේ.බී. හේරත් තිර කතාව ලියූ මේ නාට්‍යයේ ඒ ප්‍රධාන චරිතය රඟපෑවේ ජනක කුඹුකගේ ය. මේ ටෙලි නාට්‍ය විසින් 1996 වසරේ හොඳම ටෙලි නාට්‍යය ලෙස සුමති සම්මාන රැසක් දිනාගන්නා ලදී.
ඒ.ඩී. රන්ජිත් කුමාර